19 September 2025

logo

අපරාධකල්ලි සාමාජිකයන් කොටුකර ගත් හැටි ආරක්ෂක ඇමති හෙළි කරයි



ඉන්දුනීසියාවේ දී සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ව ඉදිරි දින 02-03න තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. 

ඒ මේ වන විට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජය ජනතාවට පොරොන්දු වූ පරිදි නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනයේ සිට යුක්තිය පසඳලීමේ ආයතනය දක්වා ස්වාධීනත්වය ඇති කර ඇති බවයි. 

ඒ අනුව සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගත් බවත් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ඉන්දුනීසියානු පොලීසිය එක්ව සිදුකළ දින 7ක ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ මෙහෙයුම සඳහා ඉන්දියානු බුද්ධි අංශවල සහායද හිමි වූ බවයි.

ඒ අනුව සැලැස්ම ක්‍රියාත්මක කළ බවත් මේ වන විට අඩපණ වී තිබූ බුද්ධි අංශයේ යම් යම් කොටස් සක්‍රීය වී ඇති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියා.
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ බොහෝ අවස්ථාවලදී සංවිධානාත්මක අපරාධ වර්ධනය වී ඇත්තේ දේශපාලඥයන්ගේ ආශිර්වාදයෙන් බවත් ඔවුන්ගේ පැවැත්ම සහ බලය රඳවා ගැනීමට සංවිධානාත්මක අපරාධකරුවන්ව පෝෂණය කර ඇති බවයි. 

වත්මන් ආණ්ඩුව බලයට පැමිණි පසු රජයක් ලෙස ඒ සියල්ල නතර කර ඇති බවත් මේ වන විට සංවිධානාත්මක අපරාධකරුවන්ව නිර්මාණය කළ දේශපාලඥයන් හා ඔවුන්ගේ සබඳතා පිළිබඳ සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්කියා සිටියා.
 
අමාත්‍යවරයා කියා සිටියේ එවැනි අයගේ දේපළ සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන සිදු කරන බවත් සංවිධානාත්මක අපරාධ රැසකට දේශපාලන සබඳතා ඇති බවට තොරතුරු හෙළි වී ඇති බවත් නුදුරේදීම ඒ පිළිබඳ අවධාරණය කරන බවයි. 

(colombotimes.lk)