02 February 2025


පූර්ව ළමා විය සංවර්ධනයට ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ සාකච්ඡා අරඹයි



පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ පූර්ව වටයේ සාකච්ඡාව ඉසුරුපාය අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පවත්වා තිබෙනවා.

ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

රට පුරා විවිධ ආකාරයට ක්‍රියාත්මක කරන පූර්ව ළමා විය සංවර්ධන අධ්‍යාපන ආයතන සියල්ල ඒකාබද්ධතාවකින් යුතුව එක්  ප්‍රතිපත්තියක් මත පදනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් එහිදී නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

එය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ආයතනයේ ඒකාබද්ධ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගැනීම සඳහා සූදානම් කරන ලෙසද ඇය උපදෙස් ලබාදී තිබෙනවා.

මෙම පොදු ප්‍රතිපත්තිය මධ්‍යම රජයට මෙන්ම සියලුම පළාත්වලටද අදාළ විය යුතු බවත් ඒ තුළ පූර්ව ළමා විය සංවර්ධනයට අදාළ ගුරු මාර්ගෝපදේශ, ගුරු පුහුණු, ගුරු වැටුප්, බඳවා ගැනීමේ විභාග වැනි සියලු කාරණා ඇතුළත් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

(colombotimes.lk)