මාස 09ක ලිහිල් සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කොළඹ මහාධිකරණය නීතිපතිවරයාට කල් ලබාදී තිබෙනවා.
ඒ මෙම පෙත්සම ඊයේ (11) කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
2016 වසරේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පළ කරන ලද අදහස්වලින් ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බව පැවසෙන චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඥානසාර හිමිට මාස 09ක ලිහිල් සිරදඬුවම් නියම කළා.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ගාමිණී අල්විස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයේ විභාගය සඳහා දිනයක් නියම කරන ලෙසද ඉල්ලා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම නඩුකරයට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව නඩුකරයට අදාළ විරෝධතා පවතී නම් ඒවා මේ මස 25වනදා ගොනු කරන ලෙස නීතිපතිවරයාට නියම කර තිබෙනවා.
(colombotimes.lk)