26 December 2025

logo

හක්ගල ජාතික උද්භිද උද්‍යානය යළි විවෘත වෙයි



හක්ගල ජාතික උද්භිද උද්‍යානය අද (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබෙනවා. 

ඒ පරිසර අමාත්‍යාංශයේ උපදෙස් සහ ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ කඩිනම් වැඩපිළිවෙළ මත, ජාතික ගොඩනැගිලි පර්යේෂණ මධ්‍යස්ථානය හා ආපදා කළමනාකරණය මධ්‍යස්ථානයේ නිර්දේශ හා උපදෙස්වලට අනුකූලවයි. 

උද්‍යාන භූමියේ අනතුරුදායක ලක්ෂණ මතු වූ ස්ථාන අනතුරුදායක බව දක්වන පුවරු මඟින් නරඹන්නන් හට පිවිසීම තාවකාලිකව වළක්වා තිබෙනවා. 

ඒ අනුව පිවිසීමේ ගේට්ටුව අසල පොකුණු සහිත ප්‍රදේශය සහ වනෝද්‍යානය දෙසට පිවිසීමට ඇති මාර්ගය මෙසේ අනතුරුදායක බවට නම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ පහසුව උදෙසා උද්භිද උද්‍යාන කාර්ය මණ්ඩලය විසින් විශේෂ වැඩසටහනක් ද සංවිධානය කර තිබෙනවා. 

(colombotimes.lk)