ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210kmක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව උතුරු මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් මි.මී. 200 ඉක්මවූ සහ උතුරු, මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල, මාතර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් මි.මී. 150 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.
(colombotimes.lk)
