18 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. තෙවන පාසල් වාරය අදින් ඇරඹෙයි 

2025 වසරේ රජයේ සහ රජය අනුමත පෞද්ගලික සිංහල හා දෙමළ පාසල්වල තෙවන වාරය අද (18) සිට ආරම්භ 

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ මුස්ලිම් පාසල් සඳහා තෙවන පාසල් වාරය ලබන 25වනදා ආරම්භවීමට නියමිත බවයි.

එමෙන්ම අදින් ඇරඹෙන තෙවන පාසල් වාරයේ පළමු අදියර ඔක්තෝබර් 17වනදා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.



02. තැපැල් වර්ජනය තවදුරටත්

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. 

මෙම වර්ජනය ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් ඊයේ (17) පස්වරු 4.00 සිට ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මධ්‍යම තැපැල් හුවමාරුවෙන් ආරම්භ වූ මෙම වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා ක්‍රියාත්මක බව තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සඳහන් කළා. 

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ මේ හේතුවෙන් අද දිනයේදී සියලුම තැපැල් කටයුතු අඩපණ වන බවයි.
 
තැපැල් සේවකයන්ගේ ඉල්ලීම් රැසක් ලබාදී තිබියදී මෙලෙස වර්ජනයක නිරත වීම අසාධාරණ බව අදාළ වැඩවර්ජනය සම්බන්ධයෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළා. 


03. බෝට්ටු අනතුරක් - 40ක් අතුරුදන්

නයිජීරියාවේ වයඹදිග සොකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටු අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයින් 40දෙනෙක් අතුරුදන් වූ බවයි. 

එමෙන්ම මගීන් 50දෙනෙක්ට ආසන්න පිරිසක් රැගත් බෝට්ටුවක් මෙලෙස අනතුරට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

ඉන් පුද්ගලයන් 10දෙනෙක් පමණ බේරාගෙන ඇති අතර තවත් මගීන් 40කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.




04. ප්‍රසන්න රණවීර යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ලබන 25වනදා දක්වායි.
 
ඔහුව අද (18) මහර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබෙනවා. 

 



05. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හා හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව යන අයට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත්කර තිබෙනවා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ සහ පොලීසියේ ඉල්ලීමකට අනුවයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝග නිකුත්කර තිබෙනවා.




06. රාජිතගෙන් අධිකරණයට මෝසමක්

අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර ඇති වරෙන්තුව තාවකාලිකව අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබෙනවා. 

එම මෝසම අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජයතුංග මහත්මිය හමුවේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ. 

කරුණු තහවුරු කිරීමට එය විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ අදාළ මෝසම සම්බන්ධයෙන් පැමිණිලිකාර අල්ලස් කොමිසම අධිකරණයේ පෙනී සිටින අවස්ථාවක එම ඉල්ලීම සිදු කරන ලෙසයි. 



07. චීනය නව අත්හදා බැලීමකට සැරසෙයි

මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුවී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය ග්වැන්ජෝ හී තාක්ෂණ ආයතනයක් මඟින් අත්හදා බලන බවයි. 

කෙසේ වෙතත් ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 



(colombotimes.lk)