19 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. තුසිත හල්ලොලුව රිමාන්ඩ් 

අධිකරණය මඟ හරිමින් සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයෙක් වන තුසිත හල්ලොලුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කර තිබෙනවා.

ඒ එළඹෙන 28 වනදා දක්වායි. 

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 



02. මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා ජාතික සංචිතයේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග සමඟ පුහුණුවීම්වල නිරත වීමට අවස්ථාව හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ සිම්බාබ්වේ තරග සංචාරයට සූදානම් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන්නන්ගේ දක්ශතා ඉහළ නැංවීමට මෙම පුහුණු වැඩසටහන සංවිධානය කළ බවයි.

ඒ අනුව එම ක්‍රීඩකයන් ලබන 22වනදා සිම්බාබ්වේ බලා පිටත්ව යන තෙක් ලසිත් මාලිංග සමඟ පුහුණුවීම්වලට එක්වීමේ අවස්ථාව හිමි වනවා.





03. සූදු නියාමන අධිකාරී පනත් කෙටුම්පත සම්මත වෙයි

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (19) පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා. 

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 




04. ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

ඒ අගෝස්තු 26 දක්වායි. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. 



05. පොහොර සහනාධාරයටත් QR එයි

ගොවීන් සඳහා පොහොර සහනාධාරය ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

 
රජය සඳහන් කළේ ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීමේ දී එම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බව සහ එම මූල්‍යාධාරය ඔවුන් විසින් සිය ගොවිතැන් කටයුතු සඳහා වන පොහොර අවශ්‍යතාවට සම්පූර්ණ වශයෙන් යොදා ගන්නා බව සහතික කරගැනීමේ අවශ්‍යතාව මතුවී ඇති බවයි. 

ඒ අනුව ගොවි ජනතාවට පොහොර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂමව සිදු කිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝග්‍යතාවය හඳුනාගෙන තිබෙනවා.



06. වර්ජන මැද්දේ විවෘත කළ තැපැල් කාර්යාලයක් ගැන දැනුම්දීමක්

හැටන් ප්‍රධාන තැපැල් කාර්යාලය අද (19) එම තැපැල් කාර්යාලයේ ප්‍රධාන තැපැල් ස්ථානාධිපති චම්පා ඒකනායක විසින් විවෘත කර තිබෙනවා.

ඒ ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති කිහිපයක් පසුගියදා ආරම්භ කළ වැඩ වර්ජනය අද දිනයේද ක්‍රියාත්මක වන පසුබිමකයි.

තමන් තැපැල් කාර්යාලය විවෘත කළද ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවය කරන නිළධාරීන් සහ සේවකයන් ඊයේ දින සිට සේවයට වාර්තා නොකර වෘත්තීය සමිති ක්‍රියාමාර්‌ගයක නියැලෙන බව තැපැල් ස්ථානාධිපතිවරිය කියා සිටියා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ තම තැපැල් කාර්යාලයට අනුයුක්ත කර ඇති ආදේශ තැපැල්කරුවන් කිහිපදෙනෙක් පමණක් සේවයට වාර්තා කර ඇති බවයි.




07. හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ යළි රිමාන්ඩ්

2024 වසරේ අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ නයනජිත් හේමන්ත රණසිංහ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ එළඹෙන 26වනදා දක්වායි. 

අල්ලස් කොමිසම සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය විසින් මෙම නියෝගයක් නිකුත් කර තිබෙනවා. 


(colombotimes.lk)