01. තැපැල්පතිගෙන් සේවකයන්ට රතු එළියක්
වැඩවර්ජනයේ නිරතව තවදුරටත් සේවයට වාර්තා නොකරන තැපැල් සේවකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට සූදානම් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල්පති රුවන් සත්කුමාර සඳහන් කළේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයද දැනුවත් කර එම ක්‍රියාමාර්ග ගන්නා බවයි.
නිවාඩුද අවලංගු කර ඇති පසුබිමක තැපැල් සේවකයන් මෙම වැඩවර්ජනයේ නිරත වී සිටිනවා.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සංගමයේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර සදහන් කළේ ගැටලුවට විසදුම් ලැබෙන තෙක් වැඩ වර්ජනය අත්නොහරින බවයි.
02. රෝහල් 31ක අඛණ්ඩ වැඩ වර්ජනයක්
බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් අද (21) සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා.
ඒ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරියගේ අත්තනෝතික ක්‍රියාකලාපයන්ට එරෙහිවයි.
අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කළා.
එමෙන්ම අදාළ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයන්ට විරෝධය පළ කරමින් ඊයේ (20) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් සංකේත වැඩවර්ජනයක නිරත වුණා.
චානක ධර්මවික්‍රම සඳහන් කළේ සිය ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද දිනයේ බස්නාහිර පළාත් සභාවට අයත් රෝහල් 31ක මෙම වර්ජන ක්‍රියාමාර්ගය සිදු කරන බවයි.
මේ අතර තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ අඛණ්ඩ වැඩවර්ජනය අද සිව්වන දිනටත් ක්‍රියාත්මක වනවා.
03. ගාසාව අත්පත් කර ගැනීමේ පළමු අදියර ඇරඹෙයි
ගාසා තීරය අත්පත් කර ගැනීමේ පළමු අදියර ආරම්භ කළ බව ඊශ්‍රායලය පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල හමුදාව මේ වන විටත් තදාසන්න ප්‍රදේශ කිහිපයක් අත්පත් කරගෙන ඇති බවයි.
මෙම මෙහෙයුම සඳහා ලබන මාසය ආරම්භයේදී හමුදා පුහුණුව ලැබූ සිවිල් වැසියන් 60,000ක් පමණ කැඳවීමට නියමිතව තිබෙනවා.
මේ අතර ඊශ්‍රායලය, සිවිල් වැසියන්ට එරෙහි කුරිරු යුද්ධයක් සිදු කරන බවට හමාස් සංවිධානය චෝදනා කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ විවිධ පිරිස් මෙම සැලැස්ම හෙළා දැක ඇති පසුබිමකයි.
මෙම මෙහෙයුම මඟින් මැද පෙරදිග කලාපයම යුද්ධයකට ඇද දැමීමේ අවදානමක් පවතින බවද ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසනවා.
රතු කුරුස සංවිධානය සඳහන් කළේ මෙම මෙහෙයුම මඟින් ගාසා තීරයේ ජනතාවගේ තත්ත්වය තවදුරටත් දුෂ්කර විය හැකි බවයි.
2023 ඔක්තෝබර් 7වනදා ආරම්භ වූ ඊශ්‍රායල - හමාස් යුද්ධය හේතුවෙන් ගාසාහී පුද්ගලයන් 62,122දෙනෙක් මිය ගොස් තිබෙනවා.
04. රජයේ ආයතනවල අනවශ්‍ය දේවල් ඉවතට
රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දේවල් ඉවත් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
එම වැඩපිළිවෙළ 'සෙයිරි සතිය' නමින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙය සැප්තැම්බර් මස 01වනදා සිට 4වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
රාජ්‍ය ආයතන තුළ සිටින නිලධාරීන් හට තම රාජකාරී කටයුතු නිසි පරිදි නිදහස්ව සිදු කිරීමට සුදුසු පිරිසිදු හා සෞඛ්‍ය ආරක්ෂිත අනතුරුදායක නොවන වටපිටාවක් නිර්මාණය කරදීම අරමුණු කරගනිමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ සඳහා රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එය සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලෙක්ම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමුකර තිබෙනවා.
ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙහිදී අවශ්‍ය දේවල් සහ අනවශ්‍ය දේවල් හඳුනාගැනීම හා අනවශ්‍ය දේ බැහැර කිරීම සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එම සතිය තුළ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
05. දේශබන්දුට අධිකරණයෙන් දුන් නියෝගය
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
ඒ එළඹෙන 27වනදා දක්වායි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)