01. දේශබන්දුට අධිකරණයෙන් දුන් නියෝගය
2022 වසරේ ගාලු මුවදොර 'ගෝඨා ගෝ ගම' අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
ඔහුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ අතර විදේශ ගමන් ද තහනම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
02. කුලියාපිටියේ බිහිසුණු අනතුරක්
කුලියාපිටිය පල්ලේවෙල පාලම අසලදී පාසල් වෑන් රථයක් සහ වැලි පිරවූ ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද (27) උදෑසන බිහිසුණු අනතුරක් සිදුවී තිබෙනවා.
කුලියාපිටිය පොලීසිය සඳහන් කළේ එම අනතුරින් පාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ඒ අතර පාසල් වෑන් රථයේ රියදුරා ද සිටින බව ද පොලීසිය සඳහන් කළා.
එමෙන්ම තවත් පාසල් සිසුන් 13දෙනෙක් රෝහල් ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
03. හිටපු නාවික හමුදාපති යළි රිමාන්ඩ්
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.
ඒ එළඹෙන සැප්තැම්බර් මස 10වනදා දක්වායි.
ඔහු අද (27) පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී තිබෙනවා.
04. ආනයනික අර්තාපල් - ළූනු සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සහ බොම්බයි ළූනු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (26) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම බදු සංශෝධනය සිදු කර ඇති බවයි.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබූ රුපියල් 60ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 80 දක්වා ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
ආනයනික බොම්බයි ළූනු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ඉහළ දමා තිබෙනවා.
මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ මෙම බදු සංශෝධනය ඊයේ සිට මාස 03ක කාල සීමාවක් සඳහා බලපැවැත්වෙන බවයි.
05. වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විනය පරීක්ෂණයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට එරෙහිව විනය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණී ප්‍රකාශ කළා.
ඒ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මාධ්‍යයට ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීම සම්බන්ධයෙන් මෙම විනය පරීක්ෂණය සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.
(colombotimes.lk)