01. අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් දීමනාව අද බැංකු ගිණුම් වෙත
2025 සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව අද (12) බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය සඳහන් කළේ රුපියල් 11,201,647,000ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,412,574ක බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි.
ඒ අනුව අදාළ ප්‍රතිලාභීන්ට අද (12) සිට තමන්ට හිමි අස්වැසුම දීමනාව තමන්ගේ බැංකු ගිණුමෙන් ලබා ගත හැකි බවද එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.
02. රතන හිමිට අධිකරණයෙන් දුන් නියෝගය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇපමත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව උන්වහන්සේව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 02ක් සහ රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
2020 මහ මැතිවරණයෙන් අපේ ජන බල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබාගැනීම සඳහා එම පක්ෂයේ මහ ලේකම් පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන් පැහැරගෙන ගොස් තර්ජනය කිරීම සම්බන්ධයෙන් රතන හිමියන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
03. කබීර් හෂීම්ට නව වගකීමක්
දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු කබීර් හෂීම් තේරී පත්වී තිබෙනවා.
ඒ දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ. සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන විසින් පිළිවෙළින් යෝජනා කර ස්ථිර කර තිබෙනවා.
අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා සඳහන් කළේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින් සියලු සාමාජිකයන්ගේ සහයෝගයෙන් සිය ධූරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.
04. ශෂීන්ද්‍ර රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (12) නියම කර තිබෙනවා.
ඒ එළඹෙන 19වනදා දක්වායි.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
05. ලාංකික පාසල් ළමුන්ට චීනයෙන් ලැබෙන්න යන දේ
රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය එකඟ වී තිබෙනවා.
ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වා තිබෙන බවයි වාර්තා වන්නේ.
අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන පුද්ගලයන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පවත්වා තිබෙනවා.
එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබාදීමට එකඟතාව පළ කළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සහ චීන නානාපති Qi Zhenhong අතර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
06. ගම්මන්පිල අත්අඩංගුවට ගන්නවාද ? නැද්ද ? - තීරණය මෙන්න
හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට තීරණයක් ගෙන නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) අභියාචනාධිකරණයට දැනුම්දී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වන බවත් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා අධිකරණයට දැනුම් දුන්නේ පෙත්සම්කාර උදය ගම්මන්පිල මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය විසින් තීරණයක් ගෙන නොමැති බවයි.
එමෙන්ම විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන බවත් අවසන් තීන්දුවක් ගන්නේ ඉන් පසුව බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ඒ අනුව එම පෙත්සම සලකා බැලීම එළඹෙන 17වනදා දක්වා කල්දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
07. රමිත් රඹුක්වැල්ලට අධිචෝදනා
නීතිවිරෝධී ලෙස රුපියල් කෝටි 27කට අධික වටිනාකමකින් යුත් වත්කම් උපයා ගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන්ද කටයුතු කර ඇති මෙම විත්තිකරුට එරෙහිව දූෂණ විරෝධී පනත යටතේ මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)