08 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ඇමරිකානු සාම සැලැස්ම පිළිබඳ සාම සාකච්ඡා ඇරඹෙයි

ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීම සඳහා වූ ඇමරිකානු සාම සැලැස්ම පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීම අරමුණු කරගනිමින් නිල නොවන සාකච්ඡා ඊජිප්තුවේ ෂාර්ම් එල්-ෂෙයික් නගරයේදී ආරම්භ කර තිබෙනවා. 

හමාස් සංවිධානය සාම සැලැස්මේ යෝජනාවලට අර්ධ වශයෙන් එකඟ වන බව පවසා ඇති නමුත් එහි නිරායුධකරණය සහ ගාසා තීරයේ ඉදිරි සැලැස්ම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයකට ප්‍රතිචාර දක්වා නොමැති බවයි සඳහන් වන්නේ. 

ඒ සඳහා දෙපාර්ශවයේ නියෝජිතයන්ට අමතරව ඇමරිකානු ජනාධිපතිගේ විශේෂ නියෝජිතයන් ලෙස ස්ටීව් විට්කොෆ් සහ ජනපතිගේ බෑණා වන ජෙරාඩ් කුෂ්නර් ද සහභාගී වන බව විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා. 

මේ අතර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සෙනසුරාදා සඳහන් කළේ ඉදිරි දිනවලදී ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බවයි.



02. ලෝක බැංකුවෙන් විශේෂ නිර්දේශයක්

ආර්ථික ස්ථාවරත්වය සහ දිගුකාලීන වර්ධනය තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීම අත්‍යාවශ්‍ය බව ලෝක බැංකුව අවධාරණය කර තිබෙනවා.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකාව සඳහා වන ජ්‍යෙෂ්ඨ දේශීය ආර්ථික විද්‍යාඥ Richard Walker සඳහන් කළේ රජය විසින් ආරම්භ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට නව ජවයක් ලබා දිය යුතු බවයි.

රේගු පරිපාලනය වැඩිදියුණු කිරීම, අමතර තීරුබදු ප්‍රතිසංස්කරණය සහ ආයෝජන නීති රාමුව නවීකරණය ඔහු විශේෂයෙන්ම අවධාරණය කර තිබෙනවා. 



03. ඔට්ටු ඇල්ලීම සහ සූදු සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය නිකුත් වෙයි

ඔට්ටු ඇල්ලීම සහ සූදු බද්ද සඳහා වන සංශෝධිත ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් 01වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සූදු ව්‍යාපාර පවත්වාගෙන යන්නන්ට දළ එකතු කිරීම් සඳහා වන 15% ක බද්ද 18% දක්වා වැඩිකර තිබෙන බවයි සඳහන් වන්නේ. 

එමෙන්ම ශ්‍රී ලාංකික පුරවැසියන් විසින් ගෙවිය යුතු කැසිනෝ ප්‍රවේශ බද්ද ඇමරිකානු ඩොලර් 100 දක්වා වැඩි කර තිබෙනවා. 

එය ප්‍රතිශතයක් ලෙස දැක්වෙන්නේ 100%ක් ලෙසයි.



04. විශේෂ නීතියක් ගේන්න මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සැරසෙයි

මගී ප්‍රවාහන වාහනවල මාසිකව තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීම නීතියක් බවට පත් කිරීමට පියවර ගන්නා බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. 

එහි සභාපති මංජුල කුලරත්න සඳහන් කළේ ජනවාරි 01වනදා සිට එය නීතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි. 



05. මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා ලබාදී ඇති වාහන, ඉල්ලීමක් කළහොත් නැවත ඔවුන්ට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. 

ඒ අද (07) පාර්ලිමේන්තුව අමතමින්.



06. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනෙක්ට


2025 වසරේ භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ ඇමරිකානු ජාතික විද්‍යාඥයන් තිදෙනාට ප්‍රදානය කරන බව නොබෙල් ත්‍යාග කමිටුව අද (07) නිවේදනය කර තිබෙනවා. 

එම ත්‍යාගය ජෝන් ක්ලාක්, මයිකල් එච්. ඩෙවොරෙට් සහ ජෝන් එම්. මාර්ටිනිස් යන විද්‍යාඥයන් හිමි කරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව පිළිබඳ සොයාගැනීම් සඳහා මෙම විද්‍යාඥයන් තිදෙනාට නොබෙල් ත්‍යාගය ලබාදීමට තීරණය කළ බව නොබෙල් ත්‍යාග කමිටුව අද (07)  ස්වීඩනයේ ස්ටොක්හෝම් හී පැවති උත්සවයකදී මේ බව ප්‍රකාශ කළා. 







(colombotimes.lk)