30 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. හෙට රට පුරා වෛද්‍ය වර්ජනයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (31) උදෑසන 8.00 සිට ක්‍රියාත්මක වන පරිදි දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
 
මේ සම්බන්ධයෙන් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ සියලුම රෝහල් මේ සඳහා සහභාගී වන බවයි. 

ඒ අනුව දෛනික ප්‍රතිකාර සේවා සියල්ල හෙට (31) අඩපණ වන බවද ඔහු ප්‍රකාශ කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ සෞඛ්‍ය බලධාරීන් සාධාරණ විසඳුමක් ලබා දෙන්නේ නම් වැඩවර්ජනය පිළිබඳව යළි සලකා බැලීමට සූදානම් බවයි. 




02. විෂ මත්ද්‍රව්‍ය ගැන දැනුම්දෙන්න ක්ෂණික දුරකථන අංකයක්

විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන 'රටම එකට - ජාතික මෙහෙයුමට' සමගාමීව දවසේ පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින්.
 
එලෙස හඳුන්වා දුන් '1818'යන ක්ෂණික දුරකථන අංකය ඔස්සේ මහජනතාවට දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම, බෙදාහැරීම හෝ ඒ ආශ්‍රිත සැක කටයුතු ක්‍රියාකාරකම් පිළිබඳව නිවැරදි තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා. 

 



03. ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහනය ඇතුළු කුලී රථ නියාමනයට සැරසෙයි 

ත්‍රීරෝද රථ, පාසල් ප්‍රවාහන සේවා ඇතුළු කුලි රථ නියාමනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු පී. ඒ චන්ද්‍රපාල ප්‍රකාශ කළා. 

ඒ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

පළමු අදියරේදී මෙම ප්‍රවාහන සේවාවන් සම්බන්ධයෙන් දත්ත එක්රැස් කිරීම සිදු කරන අතර එම වැඩසටහන නොවැම්බර් 01වනදා සිට ආරම්භ කරන බව එහිදී ඔහු කියා සිටියා. 




04. ඩයනාට එරෙහි නඩුවක සාක්ෂි විභාගය ඇරඹෙයි 

හිටපු රාජ්‍ය ඇමති ඩයනා ගමගේට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කළ ආගමන හා විගමන නඩුවේ සාක්ෂි විභාගය අද (30) ආරම්භ කර තිබෙනවා.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි. 

අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනා ගමගේට අධිකරණය විසින් චෝදනා කියවා දී තිබෙනවා.

එහිදී එම චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ඇය ප්‍රකාශ කර තිබෙන බවයි සඳහන් වන්නේ.
 
රජයේ නීතිඥ අකිලා ධර්මධාතුගේ මෙහෙයවීම යටතේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරිනී හංසිකා කුමාරසිරිගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කර තිබෙනවා.
 
ඉන් අනතුරුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් මස 15වනදා කල් තබා තිබෙන බවයි වාර්තා වන්නේ. 



05. GovPay හරහා සිදු කළ ගනුදෙනු ප්‍රමාණය රුපියල් මිලියන 500 ඉක්මවයි

ශ්‍රී ලංකා රාජ්‍ය සේවාවන් සඳහා ඩිජිටල් ගෙවීම් පහසුකම් සැලසීමට නිර්මාණය කළ ආරක්ෂිත සහ පහසු මාර්ගගත වේදිකාව වන GovPay හරහා සිදු කළ ගෙවීම් ප්‍රමාණය රුපියල් මිලියන 500 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව අද දිනය වන විට ගනුදෙනු වාර 37,715ක් ඔස්සේ රුපියල් 568,666,330ක රාජ්‍ය ගනුදෙනු සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.

මේ සඳහා රාජ්‍ය ආයතන 184ක ප්‍රමාණයක් එක්ව තිබෙනවා. 


(colombotimes.lk)