12 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ට්‍රම්ප්ගෙන් චීනයට සැර අමතර තීරු බද්දක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා 100%ක අමතර තීරු බද්දක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නව තීරුබදු සහ පාලනයන් 2025 නොවැම්බර් 1වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

'විවේචනාත්මක මෘදුකාංග' සඳහා අපනයන පාලනයන් පැනවීමටත් ඇමරිකානු ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් දුර්ලභ පාංශු ඛනිජ අපනයනය සඳහා නව පාලනයන් පැනවීමෙන් පැය කිහිපයකට පසුව ට්‍රම්ප් මෙම තීරණය ගෙන තිබෙන බවයි. 

චීනය මෙම ඛනිජවල ගෝලීය සැපයුමෙන් 70%ක් පමණ සපයන අතර මෝටර් රථ, ආරක්ෂක අංශ සහ අර්ධ සන්නායක වැනි ඉහළ තාක්ෂණික කර්මාන්ත සඳහා අත්‍යාවශ්‍ය බවයි සඳහන් වන්නේ.

චීනයේ වාණිජ අමාත්‍යාංශය නිවේදනය කළේ දෙසැම්බර් 1වනදා සිට එම රටෙන් ලැබෙන දුර්ලභ පාංශු ඛනිජවලින් 0.1%කට වඩා අඩංගු නිෂ්පාදන අපනයනය කිරීමට විදේශීය ආයතන බලපත්‍රයක් ලබාගත යුතු බවයි.


02. විදුලි ගාස්තුව ගැන කොමිසමේ අවසන් තීරණයට දින දෙයි

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය මේ මස 14වන අඟහරුවාදා ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. 

එහි අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව 6.8%කින් ඉහළ නැංවීමට යෝජනා කර ඇති බවයි. 

ප්‍රතිව්‍යූවගතකරණ වැඩපිළිවළ නිවැරදි ආකාරයෙන් සිදු කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙන් විදුලි ගාස්තුව ඉහළ නැංවීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බව ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමයේ උප සභාපති නන්දන උදයකුමාර සඳහන් කළා. 

විදුලිය පාවිච්ච් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර් අතුල සඳහන් කළේ විදුලිබල මණ්ඩලය කොටස් කිරීම මඟින් දැනට ලක්ෂ 15ක්ව පවතින අධ්‍යක්ෂ මණ්ඩල ගාස්තුව රුපියල් කෝටියකට ආසන්න ප්‍රමාණයක් දක්වා ඉහළ යන බවයි. 


03. ඇමරිකාවේ පුද්ගලයන් 19දෙනෙක් අතුරුදන්

ඇමරිකාවේ ටෙනසි ප්‍රාන්තයේ යුධෝපකරණ කම්හලක පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ හේතුවෙන් පුද්ගලයන් 19දෙනෙක් අතුරුදන් වී ඇති බවයි.  



04. ඇළ මාර්ගයක් අසලින් ජීව උණ්ඩ තොගයක් හමුවෙයි

මතුගම සිරිකදුර නාගහවල ප්‍රදේශයේ ඇළ මාර්ගයක් අසල තිබී ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. 

පොලිසිය සදහන් කළේ එම්. පී. එම්. ජී. උණ්ඩ 50ක්, ටී. 56 උණ්ඩ 6ක්, ශොට්ගන් උණ්ඩ 2ක්, ත්‍රී එයිට් වර්ගයේ උණ්ඩ 6ක් සහ මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 12ක් මෙහි තිබී සොයාගත් බවයි. 

අදාළ උණ්ඩ තොගය, එම ස්ථානයේ දමාගිය සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව මතුගම පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 


05. බිත්තර මිලෙහි වෙනසක්

බිත්තර මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති සභාපති නවොද් සම්පත් බණ්ඩාර සඳහන් කළේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයන්ගේ මාෆියාව නතර කිරීම අරමුණු කරගෙන මෙලෙස බිත්තර මිල පහත දැමීමට තීරණය කළ බවයි.
 
ඒ අනුව සුදු බිත්තරයක් රුපියල් 18ක මිලකට සහ රතු බිත්තරයක් රුපියල් 20ක මිලකට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ වෙළෙඳපොළ හැසිරීම් තත්ත්වය පිළිබඳ නිසි අවබෝධයකින් තොරව මෙලෙස එක් පුද්ගලයෙක්ගේ වුවමනාව මත බිත්තර මිල පහත හෙළීම අවධානම් සහගත ක්‍රියාවක් බවයි. 

 

(colombotimes.lk)