01. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ජීවිතක්ෂයට
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඒ වෙඩි ප්‍රහාරයකට ලක්වී බරපතළ තුවාල ලබා සිටියදීයි.
ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙක්ගේ වෙඩිතැබීම හමුවේ සභාපතිවරයා බරපතළ තුවාල ලබා තිබෙනවා.
පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
02. මෙරට රන් මිල පහළට
මෙරට රන් මිල රුපියල් 20,000කින් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (22) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදියේ 'කැරට් 22' රන් පවුමක මිල රුපියල් 322,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
එය පසුගිය සිකුරාදා දිනයේදී රුපියල් 379,200ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම සිකුරාදා දිනයේදී රුපියල් 410,000ක් ලෙස පැවති 'කැරට් 24'රන් පවුමක මිල අද (22) වන විට රුපියල් 350,000ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
03. කොළඹ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්
කොළඹ 1 - 15 දක්වා ප්‍රදේශ, බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ ඇතුළු ප්‍රදේශ රැසක හෙට (23) ජල කප්පාදුවක් සිදු වන බව ජල සම්පාදන මණ්ඩලය පවසනවා.
එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ හෙට පෙරවරු 10.00 සිට පස්වරු 8.00 දක්වා මෙම ජල කප්පාදුව සිදු කරන බවයි.
04. වැලිගම සභාපති ඝාතනය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 04ක්
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත කණ්ඩායම් 4ක් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළා.
ඒ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීයි.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ අදාළ ඝාතනය සඳහා උණ්ඩ 4ක් භාවිත කර තිබෙන බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
05. ලූවර් කෞතුකාගාරයෙන් සොරකම් කළ ආභරණවල වටිනාකම අනාවරණය වෙයි
පසුගියදා පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ සිදු වූ කොල්ලයේදී සොරකම් කරන ලද ආභරණවල වටිනාකම මේ වන විට අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කළේ එහිදී සොරාගෙන ඇති කෞතුක ආභරණවල වටිනාකම ඩොලර් මිලියන 102ක් බවයි.
(colombotimes.lk)