01. ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියට වැඩ වරදියි
ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා පිස්තෝලය සැඟවීමට ඉෂාර සෙව්වන්දිට දණ්ඩ නීති සංග්‍රහයේ පිටපතක් ලබා දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ සැකකාර නීතිඥවරිය ඊයේ (28) කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි.
02. රනිල්ගේ නඩුවට ලැබුණු තීන්දුව
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව ලබන ජනවාරි 28වනදා පස්වරු 2.00 දක්වා කල් තැබීමට අධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ එම නඩුව අද (29) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
03. මන්ත්‍රී ජගත් මනුවර්ණට වරෙන්තු
නඩු 02කට අදාළව අධිකරණයේ පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් අද (29) වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර විසින්.
2008 වර්ෂයට අදාළව සැකකාර ජගත් මනුවර්ණ යන අයට එරෙහිව එම අධිකරණයේ පවතින නඩු දෙකකට අදාළව මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.
04. 2026 ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF පැහැදිලි කරයි
එළඹෙන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය 3.1% දක්වා වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
ඔවුන් සඳහන් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහා ශ්‍රී ලංකා රජය ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ආරම්භ කළ පසුබිමක ආර්ථික වර්ධනයේ ශක්තිමත් ප්‍රකෘතියක් ඇති වූ බවයි.
එමෙන්ම පසුගිය වසරේ ආර්ථික වර්ධනය 5%ක් වූ අතර මෙම වසරේ පළමු භාගයේදී වර්ධනය 4.8%ක් ලෙස පෙන්නුම් කර තිබෙනවා.
ඔවුන් සඳහන් කළේ මේ වන විට එම ශක්තිමත් ප්‍රකෘතියෙන් යම් ප්‍රමාණයක් සාමාන්‍යකරණය කිරීමක් පමණක් වූ අතර ආර්ථික ක්‍රියාකාරකම්වල මට්ටම අනුව ඇතැම් වර්ධනයන්හී බලපෑම තාවකාලික බවයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 3.1%ක් වන අතර 2024 සහ 2025දී සැබවින්ම අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත් ප්‍රකෘතිමත් වීමක් දැකිය හැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
05. පොලිස්පතිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්
පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්ට එරෙහිව ජාතික පොලිස් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ තමන් ඇතුළු උසස් නිලධාරීන් සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජ මාධ්‍යට ලබාදීම හා පොලීසියේ අතිශය රහසිගත අභ්‍යන්තර ලිපි ගොනු බාහිර පාර්ශවයන් වෙත ලබාදී ඇති බවට වූ අනාවරණයක් මත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)