06 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. අයවැය හෙට පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව හෙට (07) සිදු කිරීමට නියමිතව තිබෙනවා. 

ඒ මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 8වනදා සිට දින 6ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම දෙවන වර කියවීමේ ඡන්ද විමසීම 14වන සිකුරාදා පස්වරු 6.00ට පැවැත්විමට නියමිතයි. 

කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 15 සිට දින 17ක් පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් මස 5වනදා පස්වරු 6.00ට සිදු කිරීමට නියමිතව තිබෙනවා. 



02. මත්ද්‍රව්‍ය සිද්ධියට අදාළ මාලිමා මන්ත්‍රීවරිය දැඩි තීරණයක් ගනියි


සැමියා සහ පුත්‍රයා මත්ද්‍රව්‍ය චෝදනාවට ලක් වූ සිදුවීමට අදාළ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරිය එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.


ඒ අනුව ඇය විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා වෙත මේ වන විටත් යොමු කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිටපතක් ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම්වරයාට යොමු කර තිබෙනවා. 



03. යාය 500 විශේෂ කෘෂිකාර්මික වැඩසටහන ඇරඹෙයි


යාය 500 විශේෂ කෘෂිකාර්මික වැඩසටහන කෘෂිකර්ම අමත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.

ඒ 2028 වසරේදී සහල් නිෂ්පාදනය වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින්.

අනුරාධපුර, පොළොන්නරුව සහ උතුරු පළාත ආවරණය කරගනිමින් එය ක්‍රියාත්මක බව කෘෂිකර්ම අතිරේක අධ්‍යක්ෂ ජනරාල්  බී.එම්.ඒ.පී. බස්නායක සඳහන් කළා. 

එමෙන්ම සෙසු ප්‍රදේශ සඳහා මහ කන්නයේ වාරි ක්‍රම සැකසී ඇති ආකාරය අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



04. පිලිපීනයටත් හදිසි තත්ත්වයක්


පිලිපීන ජනාධිපති ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් අද (06) එරටට ජාතික හදිසි තත්ත්වයක් (state of national calamity) ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ 'කල්මේගී' සුළි කුණාටුවෙන් පුද්ගලයන් 114දෙනෙක් මිය ගොස් තවත් සිය ගණනක් අතුරුදන් වීමත් සමඟයි. 

මෙම වසරේදී පිලිපීනයට බලපෑ දරුණුතම ස්වභාවික ව්‍යසනය මෙය බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට පුද්ගලයන් 127දෙනෙක් අතුරුදන්වී ඇති බවයි.

මෙම නිවර්තන සුළි කුණාටුව පෙරේදා වන විට පිලිපීන දූපත් සමූහයෙන් ඉවතට දකුණු චීන මුහුද දෙසට ගමන් කර තිබෙනවා.

සිවිල් ආරක්ෂක කාර්යාලය සඳහන් කළේ සුළි කුණාටුවෙන් මිලියන 02කට ආසන්න ජනතාවකට බලපෑම් එල්ල වී ඇති බවයි.

05. පාසලක පුස්තකාලයක් මුළුමනින්ම අළු වෙයි


ත්‍රිකුණාමල ශ්‍රී සුමේධංකර මහා විද්‍යාලයේ අද (06) පාසල් ආරම්භ වී විනාඩි කිහිපයකට පසු හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ එම ගින්නෙන් පුස්තකාලයේ පොත් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි. 

නව විදුහල්පති තනතුරේ රාජකාරී ආරම්භ කර සුළු වේලාවකට පසු පුස්තකාලයේ ගින්නක් හටගත් බව එම පාසලේ නව විදුහල්පති බී.ටී.සරත් කුමාර සඳහන් කළා. 

විදුහල්පතිවරයා කියා සිටියේ ක්ෂණිකව ගිනි නිවන ඒකකයට ඒ බව දැනුම්දී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළත් පුස්තකාලයේ පොත් සියල්ල විනාඩි කිහිපයක් තුළ ගිනිගෙන විනාශ වූ බවයි. 


(colombotimes.lk)