17 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ෂෙයික් හසීනට මරණ දඬුවම නියම වෙයි

බංගලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට ජාත්‍යන්තර අපරාධ විනිශ්චය සභාවක් මඟින් මරණ දඬුවම ලබාදී තිබෙනවා. 

ඒ පසුගිය වසරේ එරට පැවති ශිෂ්‍ය විරෝධතා දැඩිව මර්දනය කරමින් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සිදු කළ බවට එල්ලවී තිබූ චෝදනාව සම්බන්ධයෙන්. 

වැළැක්වීමේ සහ දඬුවම් කිරීමේ පියවර ගැනීමට අපොහොසත් වීම, සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරීමට ඩ්‍රෝන, හෙලිකොප්ටර් යානා සහ මරණීය අවි භාවිත කිරීමට නියෝග ලබාදීම වැනි ක්‍රමික වරද යටතේ මෙලෙස ඇයට දඬුවම් ලබාදී තිබෙනවා. 

 


02. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපතිට අධිකරණයෙන් දුන් නියෝගය

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ හිටපු සභාපති, අනුර වල්පොල ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

සැකකරුට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.   




03. ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක්ට එරෙහිව විනය පියවර

පළාත් පාලන ආයතනවල මෙවර අයවැය සම්මත කිරීමේදී ජාතික ජන බලවේගයට සහයෝගය ලබා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයන් සම්බන්ධව දැඩි විනය පියවර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

 
නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කළේ දැනටමත් ජාතික ජන බලවේගයට පක්ෂව ඡන්දය ලබා දුන් සභිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමටද පියවර ගෙන ඇති බවයි. 

මේ පිළිබඳව ඔවුන්ගෙන් දැනටමත් නිදහසට කරුණු විමසා ඔවුන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට නියමිත බවද එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 





04. කෙහෙළිය සහ පවුලේ සාමාජිකයන්ට එරෙහි නඩු තුනක අධිචෝදනා භාරදෙයි  

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් 04දෙනෙක්ට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 02ක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු 02කට අදාළව මෙම චෝදනා භාරදී තිබෙනවා.

ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙක්ට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා. 




05. සජබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ගංජා මත්ද්‍රව්‍ය සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් බදුල්ල ගලඋඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ බදුල්ල, පල්ලේවත්ත ප්‍රදේශයේදීයි. 

සැකකරු කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් බවයි වාර්තා වන්නේ.

එමෙන්ම සැකකරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් මෙන්ම හාපත්ගමුව විදුලිවැට ආරක්ෂක සහයක නිලධාරියෙක් වශයෙන්ද කටයුතු කරන බව පොලීසිය සදහන් කළා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු පල්ලේවත්ත, හාපත්ගමුව, ගෝඩුන්න, හාලි ඇල යන ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.

පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ හදිසි වැටලීමකදී අලෙවිය සඳහා සකස් කර තිබූ ගංජා ග්‍රෑම් 86ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.   

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධව වැඩිදුර විමර්ශන සිදු කරන අතර අද (17) දිනයේදී බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.  




06. සංචාරක පැමිණීම මිලියන 02 ඉක්මවයි

මෙම වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව අද (17) ඉක්මවා ගොස් තිබෙනවා.

අද පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්- 504 දරන ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් පැමිණි යුවළත් සමඟ මෙරට සංචාරක‌ සීමාව මෙලෙස ලක්ෂ 20 ඉක්මවා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

එලෙස මෙරටට පැමිණි විදෙස් ජාතික රෆායෙල් කැරොන්ට සහ ඔහුගේ බිරිඳ වන ක්ලෙයා චාලට් යන අයට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් ද හිමි වී තිබෙනවා.

ඔවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතර සති 02ක කාලයක් මෙරට රැඳී සිටීමට නියමිතයි.


(colombotimes.lk)