21 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ඔක්තෝබර් මාසයේ උද්ධමනය ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 ඔක්තෝබර් මාසයේ මෙරට ලක්‍ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.7%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  සඳහන් කළේ 2025 සැප්තැම්බර් මාසයේදී මෙම අගය 2.1%ක් ලෙස සටහන් වූ බවයි. 

සැප්තැම්බර් මාසයේදී 3.8%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.1%ක් දක්වා වැඩි වී තිබෙනවා.

එමෙන්ම සැප්තැම්බර් මාසයේදී 0.7%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 1.5% ක් දක්වා වැඩි වී තිබෙන බවයි සඳහන් වන්නේ.



02. ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්


ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ පසුවන එහි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් පිරිසක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඒ ලබන 05 වනදා දක්වායි.  

අදාළ පැමිණිල්ල අද (21) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එම අවස්ථාවේදී බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරුවන් පිරිස Zoom තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
 
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 




03. බස් රථයක් ගඟකට පෙරළෙයි - 16ක් ජීවිතක්ෂයට



කාම්බෝජයේ අගනුවර වන නොම් පෙන්හී බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී ගොස් අනතුරක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරෙන් පුද්ගලයන් 16දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි.  

එමෙන්ම එම අනතුරින් තවත් 24දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 




04. බැංකු කාඩ් මඟින් බස් ගාස්තු ගෙවීම ලබන සඳුදා සිට ඇරඹෙයි



බස් රථවල ගමන් ගන්නා මගීන්ට බැංකු කාඩ්පත් මඟින් ගෙවීම් කිරීමේ නියමු ව්‍යාපෘතිය නොවැම්බර් මස 24වනදා ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක සඳහන් කළේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් එම කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

පළමු අදියර යටතේ ප්‍රධාන අන්තර් පළාත් මාර්ග 03ක් ඇතුළුව මාර්ග 20ක් ආවරණය කරන අතර ගාල්ල, මාතර සහ බදුල්ල දක්වා බස් රථවල ගමන් කරන මගීන්ට මෙලෙස කාඩ්පත් මඟින් ගෙවීමේ හැකියාව පවතිනවා.

ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ මෙය ඉදිරියේදී රටපුරාම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි.   




05. ජනාධිපති නීතිඥවරු සිව්දෙනෙක් දිවුරුම් දෙයි



නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරු වශයෙන් මෑතකදී උසස්වම් ලද සිව්දෙනෙක් ජනාධිපති නීතිඥවරුන් වශයෙන් දිවුරුම්දී තිබෙනවා. 

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දිවුරුම්දීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

අතිරේක සොලිසිටර් ජෙනරාල්වරුන් වන සුදර්ශන ද සිල්වා, අසාද් නවාවි, හිරන්ජන් පීරිස් හා ලක්මාලි කරුණානායක මෙලෙස දිවුරුම් දී තිබෙනවා. 




06. මත්ද්‍රව්‍ය චෝදනාවට අත්අඩංගුවට ගත් සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි



මත්ද්‍රව්‍ය චෝදනා මත ඊයේ (20) අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා සඳහන් කළේ ඔහු පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක වන බවයි.



07. වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට GMOA සැරසෙයි


සිය ඉල්ලීම් සඳහා සාධනීය විසඳුමක් ලබා නොදෙන්නේ නම් සිය සංගමය විසින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 


නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ පසුගිය සඳුදා (17) ජනාධිපතිවරයා සමඟ සිදු කළ සාකච්ඡාවේදී සිය සංගමයේ යෝජනාවලට ජනාධිපතිවරයා එකඟ වූ බවයි.

නමුත් මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡාවක් පැවැත්වූවත් මේ වන තෙක් මෙරට වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය සේවාව සුරක්ෂිත කිරීම වෙනුවෙන් විශ්වාස කළ හැකි විසඳුම් මාලාවක් හෝ වැඩසටහනක් ප්‍රකාශයට පත් වී නොමැති බවත් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය චෝදනා කර තිබෙනවා.



(colombotimes.lk)