15 July 2025

logo

මාස 07ට සිදු වූ වෙඩි තැබීම් ගැන පොලීසියෙන් අනාවරණයක්



වසරේ ගත වූ මාස 7ක කාලය තුළ දිවයින පුරා වෙඩි තැබීමේ සිදුවීම් 68ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළා.

ඒ අද (14) පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදීයි. 

2025.01.01වනදා සිට 2025.07.13වනදා දක්වා වූ කාලය තුළ මෙම වෙඩි තැබීම් වාර්තා වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉන් 50ක් සංවිධානාත්මක අපරාධකරුවන් හා සම්බන්ධ වෙඩි තැබීම් බවත් සෙසු 18 වෙනත් පුද්ගලයන් හා පෞද්ගලික හේතු අරමුණු කරගනිමින් සිදු කරන ලද වෙඩිතැබීම් බවයි.
 
එමෙන්ම අදාළ වෙඩිතැබීම් 68න් 37දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඔහු කියා සිටියේ ඒ අතුරින් 34දෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් වන බවත් සමස්ත වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 39ක් තුවාල ලබා ඇති අතර ඉන් 30 දෙනෙක් සංවිධානාත්මක අපරාධකරුවන් බවයි.
 
මේ අතර මෙම වෙඩි තැබීම් හා සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුම්වලදී ටී -56 ගිනිඅවි 23ක්, පිස්තෝල 46ක් සමඟ දේශීය හා විදේශීය ගිනිඅවි 1,165ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෙඩිතැබීම් 68ක් සම්බන්ධයෙන් වෙඩික්කරුවන් 24දෙනෙක් සහ පැදිකරුවන් ලෙස කටයුතු කළ 15දෙනෙක්, ආධාර අනුබල දුන් 150ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. 

(colombotimes.lk)