03 September 2025

logo

උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ඇරඹෙයි



උතුරු පොල් ත්‍රිකෝණය ව්‍යාපෘතිය යටතේ උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (02) ආරම්භ කර තිබෙනවා.

ඒ පලෙයි නගරයේදීයි. 

ශ්‍රී ලංකා පොල් පර්යේෂණ ආයතනය සහ හලාවත වැවිලි සමාගම අතර සහයෝගීතා වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙනවා. 

ඒ අනුව යාපනය, මුලතිව් සහ මන්නාරම, උතුරු පොල් ත්‍රිකෝණය ලෙස ප්‍රවර්ධන කිරීමට රජය සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ යටතේ 2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමට අපේක්ෂා කරන අතර 2025 සිට 2027 වර්ෂය දක්වා වන වසර 03 ඇතුළත එය අක්කර 40,000ක් දක්වා ඉහළ නැංවීමටද නියමිතයි. 

නිෂ්පාදන ඒකකයේ කටයුතු ආරම්භ කරමින් බීජ පොල් පැළයක් රෝපණය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වී තිබෙනවා. 

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලන්කුමරන්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් යන පුද්ගලයන්ද පොල් පර්යේෂණ ආයතනයේ සහ හලාවත වැවිලි සමාගමේ නිලධාරීන් ද  මෙම අවස්ථාවට සහභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

‍මේ අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මඟින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනය නැරඹීමටද ජනාධිපතිවරයා එක් වී තිබෙනවා. 





(colombotimes.lk)