20 August 2025

logo

තැපැල් සේවකයන් අද පස්වරුවේ වර්ජනය අරඹයි



තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් අද (17) පස්වරු 4.00 සිට සේවයෙන් ඉවත් වී වර්ජන ක්‍රියාවලියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. 

ඒ තැපැල් නිලධාරීන්ගේ අතිකාල ගෙවීම්, පාලන කාර්යාල හා ගිණුම් කාර්යාලවල නිලධාරීන් ඇඟිලි සළකුණු යන්ත්‍රයේ පැමිණීමේ හා පිටවීම සටහන් කළ යුතු බවට ලබාදී ඇති උපදෙස්වලට විරෝධය පළ කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරමින්.

ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ සඳහන් කළේ හෙට පස්වරු 4.00ට කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවෙන් මෙම වර්ජය ආරම්භ කිරීමට නියමිතව ඇති අතර මධ්‍යම රාත්‍රී 12.00 සිට දිවයින පුරා පිහිටි තැපැල් හා පාලන කාර්යාලවල අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා තැපැල් කාර්යාලයට අයත් උප තැපැල් කාර්යාල 3,354ක උප තැපැල් ස්ථානාධිපතිවරු සහභාගී නොවන බව  තැපැල්පති රුවන් සත්කුමාර ප්‍රකාශ කළා. 

ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය සහ ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ විසින් සිදු කරන  වෘත්තිය ක්‍රියාමාර්ග හේතුවෙන් තැපැල් භාණ්ඩ බෙදා හැරීමේ කටයුතු ප්‍රමාද විය හැකි බවයි.


(colombotimes.lk)