colombotimes.lk
සිංහල | English

07 May 2024

මෙවර අයවැයට පෞද්ගලික අංශයේ යෝජනා ගැන සුබ බලාපොරොත්තුවක්



මෙවර අයවැයට පෞද්ගලික අංශයේ යෝජනා ඇතුළත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දී අදාළ ක්ෂේත්‍ර වෙන වෙනම විමසා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. 

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ 2024 පූර්ව අයවැය විවාදයට පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්. 
 
මේ වන විට රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට සහ තිරසාර වර්ධනයක් සහතික කිරීම සඳහා සැලසුම් කර ඇති ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සාකච්ඡා කළා. 
 
එමෙන්ම රජයේ ආදායම් සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙන්ම ආයෝජකයින් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත සඳහා සහාය වීම සඳහා වන ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් පෞද්ගලික අංශයේ ආයතනවල ප්‍රධානීන් විසින් ජනාධිපතිතුමා වෙත යෝජනා ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. 
 
වත්මන් ආර්ථික අර්බුදය ජයගැනීම සහ විවිධ ක්ෂේත්‍රවල වුඅපරිකයින් මුහුණ දෙන අභියෝග වලට විසඳුම් ලබාදීම අරමුණු කරගත් ක්‍රියාමාර්ගවලට මෙවර අයවැයෙන් ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. 
 
ඒ අනුව පෞද්ගලික අංශයේ ආයතන වල ප්‍රධානීන් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලීමට කැපවන බවයි ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ.
(colombotimes.lk)