07 February 2025


මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට



පාර්ලිමේන්තුව අද (07) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී පෙරවරු 9.30 සිට පෙරවරු 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත් පෙරවරු 11.00 සිට පෙරවරු 11.30 දක්වා කාලය ස්ථාවර නියෝග 27(02) යටතේ ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා කාලය පෞද්ගලික මන්ත්‍රී යෝජනා 6ක් විවාදයට ගැනීමට නියමිතයි.

එහිදී හේෂා විතානගේ විසින් ඉදිරිපත් කළ වතු ආශ්‍රිතව පවතින මාර්ග රජයට පවරා ගැනීම පිළිබඳ යෝජනාව, කිංස් නෙල්සන් ඉදිරිපත් කළ සමූපාකාර සඳහා භාණ්ඩ මිලදී ගැනිමේ ක්‍රියාවලියට නිසි ප්‍රසම්පාදන වැඩසටහනක් සකස් කිරීම පිළිබඳ යෝජනාව, රෝහණ බණ්ඩාර විසින් ඉදිරිපත් කළ රජය සතු සහල් සංචිතයක් පවත්වාගෙන යාම සදහා වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ යෝජනාව, චමින්ද විජේසිරි ඉදිරිපත් කළ කම්කරු සුබසාධන නිලධාරීන් පත් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳ යෝජනාව, රවී කරුණානායක ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා අහෝසි කිරීම පිළිබඳ යෝජනාව සහ රවුෆ් හකීම් ඉදිරිපත් කළ කොරෝනා වසංගතයෙන් මියගිය පුද්ගලයන්ගේ සිරුරු මිහිදක් කිරීමෙන් වැලකී ආදාහනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කර සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම පිළිබඳ යෝජනාව විවාදයට ගැනීනට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)