27 November 2025

logo

හදිසියේම දොඹෙන් යන්න වහින හේතුව මෙන්න | Exclusive



මේ වන විට ශ්‍රී ලංකාවේ කාළගුණය ඉතාම අයහපත්, හදිසි ආපදා තත්ත්වයක් දක්වා එය වර්ධනය වෙමින් පවතිනවා. දශක ගණනාවකට පසුව ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලට මහා ගං වතුර තත්ත්වයක් උද්ගත වෙලා. සුදානමක් නොතිබූ නිසා ජීවිත ගණනාවක් මේ ආපදාවන්ට ගොදුරු වුණා. ඒ සමඟ දැන් මුළු ලංකාවම වර්ෂාවෙන් තෙතබරිත වෙලා. එවන් මොහොතක Colombo Times අපේ කණ්ඩායම මෙලෙස එකවර මහා වැසි ඇති වූ හේතුව පිළිබඳව සොයාබැලීමක් කළා. මේ ඒ පිළිබඳව වාර්තාවක්.



ශ්‍රී ලංකාවට ආසන්නව, ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ තවදුරටත් ක්‍රමයෙන් පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් උතුරට බරව වයඹ දෙසට ගමන් කිරීමට හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු කලාපය ඔස්සේ ඇතිවන පීඩන අවපාතයන් සහ සුළි කුණාටු තත්ත්වයන් සෑම වසරකදීම අපට අසන්නට දකින්නට ලැබෙනවා. විශේෂයෙන් මෙහි බලපෑම ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාව සහ බංගලාදේශය වැනි රටවල දේශගුණ තත්ත්වයට ද අදාළ වනවා.



නමුත් අපිට කරදරකාර කාලගුණයන් නිර්මාණය කරන මේ බෙන්ගාල බොක්ක ශ්‍රී ලංකාවට පමණක් නෙවෙයි සමස්ත ලෝකයට ම වැදගත්. දේශගුණය, කාලගුණය කියන එක අපි කාටවත් රටක් විදිහට තනියම තීරණය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ සමස්ත පද්ධතියම හැදිලා තියෙන්නේ ගොඩබිම, මුහුද, වායු ගෝලය, හිම කඳු, ජීව ගෝලය කියන අංශ 5 එක්වීමෙන්. ඒ නිසයි බෙංගාල බොක්ක මුළු ලෝකයටම වැදගත්.

මෙවර ඇතිවී තිබෙන හදිසි වැසි තත්ත්වයට හේතුව වන්නේ මේ බෙංගාල බොක්ක ආශ්‍රිතව නිර්මාණය වන අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමයි. 

භුමිය හෝ මුහුදේ උෂ්ණත්වය වැඩි වීමකදී එහෙම නැතිනම් රත් වීමකදී එම ස්ථානයේ ඇති වායු අංශු ඉහළට යනවා. එවිට අඩු පීඩන කලාපයක් එම ස්ථානයේ නිර්මාණය වෙනවා.

මේ අඩු පීඩනය සමතුලිත කරන්න වටෙන්ම සුළං ප්‍රවාහ ගලාගෙන එනවා. එනම් වායු අංශු වැඩි තැනක සිට වායු අංශු අඩු තැනකට ගලාගෙන එනවා. එය වායුගෝලයේ පීඩනය සමතුලිත කිරීම වෙනුවෙන් සිදුවන ස්වභාවික සංසිද්ධියක්.

ඉතින් මෙවර සිදුවී තිබෙන්නේ බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදේ උෂ්ණත්වය ඉහළ යාම සමඟ එහි වායු අංශු ඉහළට ගමන් කර එම ස්ථානයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමයි. එම අඩු පීඩනය පුරවාලන්න දැන් වාතය ගමන් කිරීමක් එනම් සුළං තත්ත්වය නිසා වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇතිවී  තිබෙනවා. 

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියන් සාගරයට සහ අරාබි සාගරයට මායිම පිහිටි රටක්. අරාබි මුහුදේ වුවත් මෙවන් කැළඹිලි ස්වභාවයන් ඇතිවිය හැකි නමුත් එහි බලපෑම සමහර විටෙක ශ්‍රී ලංකාවට දෙනෙන්නේ ඉතාම අවම මට්ටමින්. නමුත් බෙන්ගාල බොක්කේ ඇතිවන මෙම අඩු පීඩන තත්වයන් ශ්‍රී ලංකාවට ඍජුවම බලපානවා.

එමෙන්ම සුළි කුණාටු තත්ත්වයන් ද එකවරම නිර්මාණය වන්නේ නැහැ. එය අදිරයෙන් අදියර සිදුවන දෙයක්. මුලින්ම කැළඹිලි සහගත තත්ත්වයක්, අඩුපීඩන කලාපයක් ඊට පස්සේ පීඩන අවපාතයකට එන්නේ. ඊට පස්සේ සුළි කුණාටුව දක්වා වර්ධනය වෙනවා. අවට ඇති සුළගේ වේගය අනුව ක්‍රම ක්‍රමයෙන් ඒ තත්ත්වය වර්ධනය වෙනවා.

ඉතින් මේ විදිහට තමයි අද අපි මේ අත්විඳින අධික වැසි සහිත කාලගුණය නිර්මාණය වන්නේ. නමුත් මෙහි ඇති බරපතළකම වන්නේ අධික වැස්ස සමඟ ගංගා පිටාර ගැලීම, කඳුකර ප්‍රදේශ නාය යාම ආදී තත්වයන් ඇතිවීමයි. වැස්ස නිසා නොව වැස්ස ඇතිකරන අහිතකර ස්වභාවික ආපදා නිසයි මහා විනාශයක් වන්නේ. 

ඉතින් ගතවන මේ කාලය තුළ තමන්ගේ සහ තමන්ගේ ආදරනීයයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව සිටින්නැයි Colombo Times ප්‍රවෘත්ති කණ්ඩායම ඔබෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම මේ පවතින අයහපත් කාලගුණ සහ ආපදා තත්වය පිළිබඳවද තොරතුරු ගෙන ඒමට අපේ ප්‍රවෘත්ති කණ්ඩායම පැය 24 පුරා සූදානමින්.


(colombotimes.lk)