කැලණිය සරසවියේ පීඨ කිහිපයක් වසා දැමේ



කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සියලු පීඨ නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. 

ඒ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකුට කළ පහරදීමේ සිද්ධියක් හේතුවෙන්.
 
විශ්වවිද්‍යාල උපකුලපතිවරයා විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ විශ්වවිද්‍යාලය අද පස්වරු 2 සිට වසා දැමුණු බවයි. 
 
ඒ අනුව හෙට අලුයම 5.00 ට පෙර විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල සිටින සියලුම සිසුන් පිටත්ව යා යුතු බව ද එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. 
 
එමෙන්ම කැලණිය විශ්වවිද්‍යාලයේ දළුගම මණ්ඩපය ඇතුළු විශ්වවිද්‍යාල පරිශ්‍රයට සහ විශ්වවිද්‍යාලයේ සියලුම අභ්‍යන්තර හා බාහිර නේවාසිකාගාරවලට නැවත දැනුම් දෙන තුරු සිසුන්ට ඇතුළුවීම තහනම් වනවා.
 
විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශයේ ආරක්ෂක නිලධාරියෙකු විවේකාගාරයේ නිදා සිටියදී පැහැරගෙන ගොස් පහර දී ශිෂ්‍ය මධ්‍යස්ථානයේ ප්‍රවේශ ගේට්ටුවේ ගැට ගසා ඇති බව විශ්වවිද්‍යාල උපකුලපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා සිටිනවා. 
(colombotimes.lk)