21 November 2025

logo

නුගේගොඩ ප්‍රදේශයේ අද විශේෂ රථ වාහන සැලැස්මක්



මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී අද (21) දහවල් පැවැත්වීමට නියමිත මහජන රැළිය හේතුවෙන් රථ වාහන ගමනාගමනය සීමා කිරීමට සිදු වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසනවා. 

පොලීසිය සඳහන් කළේ මෙම මහජන රැළිය සඳහා සහභාගී වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයන්, නියෝජිතයන්, පාක්ෂිකයන් හා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙලෙස විශේෂ රථ වාහන හා ආරක්‍ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි. 

ඒ අනුව දහවල් 02.00 සිට රැළිය අවසන්වන තුරු නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි (ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය ඉදිරිපිට මාර්ගය) රථ වාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. 

පොලීසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාල කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාවට ඇති විය හැකි අපහසුතා මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි.

භාවිතා කළ හැකි විකල්ප මාර්ග,

කොළඹ දෙස සිට හා කොහුවල දෙස සිට නුගේගොඩ නගරය හරහා නාවල දෙසට හා පිටකෝට්ටේ දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන හයිලෙවල් මාර්ගයේ ගම්සභා හන්දියෙන් වමට කට්ටිය හන්දිය ඔස්සේ මිරිහාන දෙසට හා නාවල දෙසට ගමන් කළ හැකියි. 

පිටකෝට්ටේ දෙස සිට නාවල දෙස සිට නුගේගොඩ නගරය හරහා හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කිරීමට පැමිණෙන වාහන නාවල වටරවුමෙන් කට්ටිය හන්දියෙන් ගම්සභා හන්දිය හා දෙල්කඳ හන්දියෙන් හයිලෙවල් මාර්ගය දෙසට ගමන් කළ හැකියි. 

මහරගම දෙස සිට හයිලෙවල් මාර්ගය ඔසසේ නුගේගොඩ නරගය දෙසට ගමන් කරන වාහන ගම්සභා හන්දියෙන් දකුණට කට්ටිය හන්දිය ඔස්සේ ගමන් කළ හැකියි. 

(colombotimes.lk)