05 February 2025


ඇණහිට තිබූ සූර්ය විදුලිබල ව්‍යාපෘති කඩිනමින් ඇරඹීමට පියවර



විවිධ හේතු මත අතරමග ඇණහිට ඇති සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළේ එමඟින් මෙගාවොට් 500ක ධාරිතාවක් මේ වසර තුළ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි.

එමෙන්ම මෙගාවොට් 10 දක්වා වූ සූර්ය විදුලි ව්‍යාපෘති ඒ අතර වන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අමාත්‍යවරයා සඳහන් කළේ එම ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමේ ලිපි ගොනුවල අඩුපාඩු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බවයි.

මේ අතර මෙගාවොට් 4000ක ධාරිතාවක් සහිත සූර්ය විදුලි ව්‍යාපෘති 49කට අවසර ලබාදීම සම්බන්ධයෙන් ද මේ වන විට සලකා බලමින් සිටින බව ඔහු ප්‍රකාශ කළා.
 
ඒ සඳහා කමිටුවක්ද පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර සූර්ය විදුලි ව්‍යාපෘතිවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මුදල සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

(colombotimes.lk)