විකාශන අධිකාරි පනත මාධ්‍ය මර්දනයක් නොවන බව විෂයභාර අමාත්‍යවරයා කියයි



විකාශන අධිකාරි පනත මූලික කරගෙන මාධ්‍ය මර්දනය කිරීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

පනත් කෙටුම්පතට සාධනීය වෙනස්කම් ඉදිරිපත් කළොත් ඒ පිළිබඳව සාකච්ඡා කර අවශ්‍ය කටයුතු සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළා.

එමෙන්ම අමාත්‍යවරයා එහිදී කියා සිටියේ, ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් තමාට විකාශන අයිතියක් අවලංගු කිරීමට හෝ අලුතින් විකාශන බලපත්‍රයක් ලබා දීමට තනි බලයක් තිබුණ ද එවැනි ක්‍රියාවක් තමන් කිසිඳු විටෙක සිදු කර නොමැති බවයි.

දියුණු මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට නම් යම්කිසි ක්‍රමවේදයක්, පිරිවිතරයක් හෝ අන්තර්ජාතික ක්‍රමවේදයට අනුව සකස් කිරීමේ අවශ්‍යතාව ගැන ද එහිදී අමාත්‍යවරයා සඳහන් කළා.

විකාශන අධිකාරී පනත පිළිබඳ අදහස එක් වරම ඇති වූ එකක් නොවන බවත් මින් පෙර ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ව සිටි චරිත හේරත් මහතා සිටි අවධියේ පටන්ම සාකච්ඡාවට නැගෙමින් තිබූ බව ද ඔහු කියා සිටියා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, කෙටුම්පත් කර ඇති මෙම පනත පිළිබඳව යම් අදහසක් ඇති නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළ හැකි අතර ඒ් වෙනුවෙන් නීතිමය වශයෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාව ඇති බවයි.
(colombotimes.lk)