02 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. ලංකාවට පැනවූ තීරු බද්ද ලිහිල් වෙයි 

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා වන තීරුබදු 20% දක්වා අඩු කරන බව එක්සත් ජනපදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ බංග්ලාදේශයට 20%ක්, කාම්බෝජයට 19%ක්, ඉන්දියාවට 25%ක්, මියන්මාරයට 40%ක තීරු බද්දක් පනවා තිබෙන බවයි. 

තවද පාකිස්ථානයට 19%ක්, තායිවානයට 20%ක්, තායිලන්තයට 19%ක් සහ වියට්නාමයට 20%ක් ලෙස ද තීරු බදු පනවා තිබෙනවා. 



02. වැඩ තහනම් වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව ගැන අනාවරණයක් 

මෙම වසරේ පසුගිය මාස 06 ඇතුළත පමණක් පොලිස් නිලධාරීන් 300කගේ වැඩ තහනමට ලක් වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. 

ඔහු කියා සිටියේ රජයක් ලෙස තරාතිරම කුමක් වුවත් ඕනෑම පුද්ගලයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
 
එමෙන්ම රාජ්‍ය සේවයේ නියුතු සුළු පිරිසක් සිදු කරන වැරදි හේතුවෙන් සමස්ත රාජ්‍ය සේවයටම කැළලක් ඇති වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. 



03. ප්‍රතිනැව්ගත කිරීම් සඳහාත් තීරු බද්දක්

තීරුබදු මග හැරීම සඳහා ප්‍රතිනැව්ගත කර ඇති බවට සැලකෙන සියලුම භාණ්ඩවලට අමතර 40%ක තීරුබදු පැනවීමට ධවල මන්දිරය තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ලැයිස්තුගත කර නොමැති රටවල් සඳහා 10%ක අමතර බද්දක් පනවන බවයි. 



04. ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය වෙයි

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම සැහැල්ලු වාහනවල පසුපස ආසනවල සිටින මගීන් ද ආසන පටි පැළඳීම අද (01) සිට අනිවාර්ය බව ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා. 

එම අමාත්‍යාංශය සඳහන් කළේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම නව නීතිය ක්‍රියාත්මක වන අතර එය දක්ෂිණ, කොළඹ - කටුනායක, සහ මධ්‍යම අධිවේගී මාර්ග ඇතුළු දිවයිනේ සියලුම අධිවේගී මාර්ග සඳහා බලපැවැත්වෙන බවයි. 

මෙම නියමයට අනුකූල නොවන රියදුරන්ට සහ මගීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට සහ අධිවේගී මාර්ග බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.



05. හිටපු පාකිස්ථාන අගමැතිගේ පක්ෂයේ සාමාජිකයන් 108කට සිර දඬුවම්

2023 වසරේදී හමුදාවට එරෙහි විරෝධතාවලට යොමුවීම සම්බන්ධයෙන් සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ සාමාජිකයින් 108දෙනෙක්ට සිර දඬුවම් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ දූෂණ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් කරන අතරතුර ආරක්ෂක අංශ ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසු 2023 වසරේ මැයි මාසයේදී රට පුරා ප්‍රචණ්ඩ විරෝධතා ඇති වූ බවයි. 

එමෙන්ම පසුගිය වසර 02ක තුළ බලධාරීන් විසින් විශාල පිරිසකට දඬුවම් ලබාදී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ විපක්ෂ නායක ඕමාර් අයුබ් ඛාන්ට වසර 10ක සිර දඬුවමක් ඇතුළුව PTI පක්ෂයේ මන්ත්‍රීවරුන් 06දෙනෙක්ව ඔවුන්ගේ පාර්ලිමේන්තු ආසනවලින් නුසුදුස්සන් ලෙස නම් කර තිබෙන බවයි.



06. බදුල්ලට තවත් සුඛෝපභෝගී දුම්රියක්

කොටුවේ සිට බදුල්ල දක්වා ELLA WEEKEND EXPRESS නමින් නව සුඛෝපභෝගී දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
 
එය එළඹෙන 16වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. 

සංචාරයකයන්ගේ ඉල්ලුම සැලකිල්ලට ගෙන මෙම නව දුම්රිය ධාවනයට එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

මෙම දුම්රිය ආසන 350කින් සමන්විත වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම අළුයම 5.30ට කොළඹ කොටෙුවෙන් බදුල්ල බලා පිටත්වීමට නියමිතව තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉරිදා රාත්‍රී 9.00ට බදුල්ලෙන් කොළඹ කොටුව බලා එම දුම්රිය ධාවනය කරන බවයි.



07. වයස්ගතම කලලයකින් බිළිඳෙක් ලොව එළිය දකියි

ලොව වයස්ගතම කලලයකින් මෙලොව එළිය දුටු බිළිඳා එක්සත් ජනපදයේ උපත ලබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බිළිඳා 2025 ජූලි 26වනදා උපත ලැබූ බවයි. 

ඒ අනුව වසර 30කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකින් එම බිළිඳා උපත ලබා තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම කලලය වර්ෂ 1994දී නිර්මාණය කර තිබෙන බවයි. 






(colombotimes.lk)