02 August 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. කථානායකවරයාගේ නිල නිවස සම්බන්ධයෙන් තීරණයක් ගනියි

කථානායකවරයාගේ නිල නිවස 'පාර්ලිමේන්තු අධ්‍යයන සහ පර්යේෂණ මධ්‍යස්ථානයක්' බවට පරිවර්තනය කිරීම පිළිබඳව යෝජිත වැඩපිළිවෙළට පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේ ප්‍රතිපත්තිමය එකඟතාව හිමිවී තිබෙනවා. 

ඒ අනුව මාස 06ක ආරම්භක කාලයක් සඳහා මධ්‍යස්ථානයේ පදනම් රාමුව සැලසුම් කිරීම සහ ව්‍යුහගත කිරීම සම්බන්ධීකරණය, උපදෙස් දීම සහ මෙහෙයවීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙක් ව්‍යාපෘති කළමනාකරුවෙක් ලෙස පත් කිරීමටද කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

පසුගිය 24වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කාරක සභාවේදී එම යෝජනාව සළකා බැලූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. 

එමෙන්ම රජයේ සියලු අංශ ඔස්සේ ව්‍යවස්ථාදායක සහ ආණ්ඩුකරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ මූලික ඉලක්කය ඇතිව මෙම යෝජිත මධ්‍යස්ථානය මඟින්  උසස් පර්යේෂණ පහසුකම්, විශේෂිත පුහුණුව සහ ප්‍රතිපත්ති විශ්ලේෂණයන් සඳහා ප්‍රවේශය සැපයීම සිදු කිරීමටද අපේක්ෂා කර තිබෙන බවයි වාර්තා වන්නේ. 



02. රුසියාව කළ ප්‍රකාශයකට ට්‍රම්ප් කෝප වෙයි

රුසියානු හිටපු ජනාධිපති දිමිත්‍රි මෙද්වෙදෙව් සිදු කළ ප්‍රකෝපකාරී ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික සබ්මැරීන 02ක්, සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නියෝග කර තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මොස්කව්හී අවසාන විසඳුම සෝවියට් යුගයේ න්‍යෂ්ටික ප්‍රහාරක හැකියාවන් බව ට්‍රම්ප් මතක තබා ගත යුතු බව මෙද්වෙදෙව් පසුගියදා පැවසූ බවයි.
 
එම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ඇමරිකාවේ ආරක්ෂාව උදෙසා මෙලෙස න්‍යෂ්ටික සබ්මැරීන 02ක ස්ථානගත කිරීමට ට්‍රම්ප්ගෙන් උපදෙස් ලැබී තිබෙනවා. 




03. පොලිස් සේවය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සැකසීමට සැලසුම්

පොලිස් සේව‍ය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
 
ඔහු කියා සිටියේ ඒ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර 2026 අයවැයට අදාළ යෝජනා ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.

පාර්ලිමේන්තුවේ පැවති මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඔහු ඒ බව සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට සේවයේ නියුතු පොලිස් නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩි කිරීමට ඔවුන්ට අවශ්‍ය පුහුණු වැඩසටහන් ලබාදීමට කටයුතු කරන බවයි.



04. ධවල මන්දිරයට නව ඉදිකිරීමක් එකතු කරයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයක් මත මේ දිනවල ධවල මන්දිරයේ යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙමින් පවසනවා.

ඒ යටතේ ඇමරිකානු ඩොලර් බිලියන 200ක් වැය කරමින් නවතම බෝල් රූම් ශාලාවක් ඉදිකිරීමට නියෝග නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම නව බෝල් රූම් ශාලාවේ නව ඉදිකිරීම් එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බෝල් රූම් ශාලාව ධවල මන්දිරයේ සාද පැවැත්වීම සඳහා යොදා ගන්නා බවයි.  



05. උතුරේ ඉඩම් අක්කර 16,000ක් ගැන විශේෂ තීරණයක්

උතුරේ ඉඩම් අක්කර 16,000ක පොල් වගා කිරීමට කටයුතු කරන බව ධීවර, ජලජ සම්පත් සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් පවසනවා.
 
ඔහු සඳහන් කළේ ඊට අදාළ ඉඩම් දැනට හඳුනාගෙන ඇති අතර ජනතාවගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා එම පියවර ගත් බවයි.

පොල් වගාව නිසි ලෙස පවත්වාගෙන යෑම තුළින් අනාගතයේදී එම කලාපයේ ආර්ථිකය සමෘද්ධිමත් විය හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා. 



06. ෂාරුක්ට සහ රාණිට විශේෂ සම්මානයක්

2023 වසර සඳහා වූ 71වන ජාතික චිත්‍රපට සම්මාන උළෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව හොඳම නළුවාට හිමි සම්මානය ෂාරුක් ඛාන් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ෂාරුක් ඛාන්ගේ වසර 35ක සිනමා ජීවිතයේදී ලද පළමු ජාතික සම්මානය මෙය වන බව ඔහු පවසනවා.

ඔහු මෙම සම්මානය 'Jawan'හී රංගනය වෙනුවෙන් හිමිකර ගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
එහිදී හොඳම නිළියට හිමි සම්මානය රාණි මුකර්ජි දිනාගැනීමට සමත්වුණා.

'Mrs Chatterjee vs Norway' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය හොඳම නිළිය සම්මානය දිනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 



07. රේගුවට වාර්තාගත ආදායමක්

වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,227ක වාර්තාගත අදායමක් උපයා තිබෙනවා.

අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ සඳහන් කළේ ඉතිහාසයේ එක් මාසයක් තුළ රේගුව ලැබූ වැඩිම අදායම පසුගිය මාසයේ වාර්තා කළ බවයි.

එම ආදායමෙන් වැඩි කොටසක් වාහන ආනයනය තුළින් උපයා තිබෙනවා. 



(colombotimes.lk)