08 January 2026

logo

"අග්බෝ"ගේ ජීවිතය යළිත් අවදානමක



බරපතල තුවාල ලබා සිට සුවය ලැබූ 'අග්බෝ' ඇතා ගම්වැදීමට හුරු වීමෙන්, එම සතාගේ ජීවිතය අවදානමකට ලක් වී තිබෙන බව තිරප්පනය ප්‍රදේශවාසීන් පවසනවා. 

එබැවින් 'අග්බෝ' ඇතා ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යන ලෙසයි ගම්වාසීන් ඉල්ලා සිටින්නේ. 
 
පාදයේ තුවාලය හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි 'අග්බෝ' මේ වන විට රාත්‍රියට කිලෝ මීටර 10 ක් පමණ දුර ගෙවමින් ආහාර සොයා ගම්වදින බවත්, එසේ ගම්වැදී වගාවන් මෙන්ම නිවාසයන්ද රැසක් මේ වන විට හානි කර ඇති බවත් ඔවුන් පවසනවා. 
 
'අග්බෝ' ඇතා දෛනිකව ගම්වැදීම හේතුවෙන් එළවා දැමීමට වනජීවී නිළධාරීන්ටද දෛනිකව අලි වෙඩි 200-300 ක් පමණ පාවිච්චි කිරීමට සිදු වන බවත්, වනජීවී නිළධාරීන්ගේ ජීවිතද අග්බෝ නිසා අවධානමකට පත්ව ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා. 
 
ඒ අනුව දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්තුමන් ඇතුළු නිළධාරීන් කීපදෙනෙකුට පවතින තත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කළ අතර, මිනිසුන්ගෙන් අග්බෝ ඇතාට හෝ, අග්බෝ ඇතාගෙන් මිනිස් ජීවිතයකට හානියක් වීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.