06 February 2025


විශ්‍රාම වැටුපටත් සූත්‍රයක් සැකසීමට අවදානය



විශ්‍රාමික දීමනා, ජීවන වියදම් දර්ශකයට සමානුපාතිකව ඉහළ නැංවීම සඳහා සූත්‍රයක් සකසන ලෙස ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබෙනවා. 

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ සභාපතිත්වයෙන් රුස් වූ අවස්ථාවේදීයි. 
 
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් ද, විශ්‍රාමිකයන්ගේ සංගම් නියෝජිතයන් ද, එම රැස්වීම සඳහා කැඳවා තිබුණා. 
 
දැනට සක්‍රීය විශ්‍රාමිකයන් සංඛ්‍යාව ලක්ෂ 7 කට අධිකයි. 
 
ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 ක දීමනාවක් ලබා දුන්නද, විශ්‍රාමිකයින්ට වැඩි කර ඇත්තේ මසකට රුපියල් 2,500 ක් පමණක් බව කාරක සභාව හමුවේ විශ්‍රාමික සංගම් පෙන්වා දී තිබෙනවා. 
 
වැටුප් වැඩිවීම හා සලකා බලන විට විශ්‍රාම වැටුප් වැඩි වී ඇත්තේ 25%ක ප්‍රමාණයකින් බවයි ඔවුන් එහිදී පවසා ඇත්තේ. 
 
එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද විශ්‍රාමික සංගම් නියෝජිතයින් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබුණා. 
 
වසරකට විශ්‍රාමිකයන් 26,000 ක් පමණ සක්‍රීය තත්ත්වයට එකතු වන අතර, 20,000 ක් පමණ මියයාම හේතුවෙන් විශ්‍රාමික ලැයිස්තුවෙන් ඉවත් වන බවද එහිදී අනාවරණය වුණා. 
 
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහා මාසිකව වෙන් කෙරෙන මුදල රුපියල් බිලියන 413 ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)