02 February 2025


'චන්ද්‍රයාන් 3' මෙහෙයුම: 'ප්‍රාග්යාන්' රෝවර් යානය අනතුරකින් බේරෙයි



'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට අයත් 'ප්‍රාග්යාන්' රොබෝ රෝවර් යානය, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව, සඳ මත ධාවනය කරමින් තිබියදී, ආවාටයකට වැටෙන්න ගොස් බේරුණු බව ඉන්දීය අභ්‍යවකාශ ආයතනය හෙවත් 'ඉස්රෝ' හි විද්‍යාඥයන් පවසනවා. 

එම ආවාටය මීටර් 4 ක් පමණ පළල එකක් බවයි පැවසෙන්නේ. 
 
ආවාටය ඇති බව නොදැන රෝවර් යානය දිගටම ධාවනය කරමින් තිබියදී එය ආවාටයට වැටීමට ගොස් තිබෙනවා. කෙසේ නමුත් වහා රෝවරය නවත්වා, එහි ගමන් මඟ වෙනස් කිරීමට විද්‍යාඥයන් අවශ්‍ය උපදෙස් ලබා දුන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 
 
'ප්‍රාග්යාන්' රොබෝ රෝවර් යානය රෝද 6 කින් සමන්විත අතර එය පණ ගැන්වෙන්නේ සූර්ය බලයෙන්. 
 
රෝවර් යානයේ ආයු කාලය සති දෙකක් වන අතර 'චන්ද්‍රයාන් 3' මෙහෙයුමට අයත්, 'වික්‍රම්' ලෑන්ඩර් යානය පමණක් නොව, 'ප්‍රාග්යාන්' රෝවර් යානය ලබා ගන්නා ඡායාරූප ද මේ වනවිට ඉන්දීය විද්‍යාඥයන් අතට ලැබෙමින් පවතිනවා.
(colombotimes.lk)