colombotimes.lk
සිංහල | English

17 May 2024

‘රඟහල‘ නැවතුණේ ඉරාජ් නිසාද? - සමාජ මාධ්‍යයේ ඇසෙන කතාව



කොළඹ - බත්තරමුල්ල, වොටර්ස්ඒජ්හි සංවිධානය කර තිබූ සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට සිටි ගායක ගායිකාවන් ඉවත්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇති වී තිබෙනවා. 

‘රඟහල‘ නමැති මෙම ප්‍රසංගය ලබන 28 වනදා පවත්වන්නට දින යොදා අදාළ ප්‍රවේශ පත්‍ර අලෙවි කරමින් තිබූ අතර කසුන් කල්හාර, සේනක බටගොඩ, උමාරා සිංහවංශ හා රොමේෂ් සුගතපාල ප්‍රධාන කොටගත් ප්‍රසංගයක් ලෙස පවත්වන බවයි දැක්වුණේ. 
 
නමුත් පසුව සංවිධායකයින් මෙම ප්‍රසංගයට ඉරාජ් වීරරත්න ගෙන්වීමට තීරණය කර ඇති අතර ඉරාජ්ගේ පැමිණීම හේතුවෙන් බොහෝ කලාකරුවන් ඒ සඳහා සහභාගී නොවන බවට දන්වා තිබුණා. 
 
ගිවිසුම්ගත ආකාරයට ප්‍රසංගය නොපවත්වන නිසා ඉවත්වන බව කියමින් කසුන් කල්හාර හා උමාරා සිංහවංශ මෙම ප්‍රසංගයෙන් ඉවත්වන බවට සිය සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තබා ඇති අතර දැනටමත් ප්‍රවේශපත් මිලටගත් අයට සිදුවීම පැහැදිලි කිරීමට සටහන තැබු බවයි දක්වා ඇත්තේ. 
 
නමුත් එම නිවේදන වල ඉරාජ්ගේ නම සඳහන් නොකරන්නට ඔවුන් වග බලාගෙන තිබුණා. 
 
කෙසේ වෙතත් මේ ගැන සංවිධායකයින් ගෙන් විමසීම් කරන හඩ පටයක්ද සමාජ මාධ්‍ය වෙත එක්ව ඇති අතර එහිදී සංවිධායකයෙකු සඳහන් කරන්නේ ඉරාජ් ස්වෙච්චාවෙන් මෙම ප්‍රසංගයට එක්වන බවත් පිළිකා අරමුදලකට මුදල් එකතු කර දීම අරමුණු කර ඇති බවයි. 
 
ප්‍රසංගයේ අග කොටසට පමණක් ඉරාජ් සම්බන්ධවන බවද සංවිධායක එම ඇමතුමේදී පවසනවා. 
 
පසුගිය මැතිවරණ සමයන්හිදී හා ඉන් පසුව දේශපාලනයට සම්බන්ධ නිර්මාණ වලට දායකවීම නිසා ක්ෂෙත්‍රය තුළ ඉරාජ් පිළිකුල් කරන පිරිස් හා ඔහු හා ගැටලු පවතින පිරිස් නිර්මාණය වී තිබෙනවා.
(colombotimes.lk)