22 January 2025


ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට උපදෙස් මාලාවක්



ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන බැතිමතුන් සීතලට ඔරොත්තු දෙන උණුසුම් ඇඳුම් හා අත් ආවරණ පැළැද පැමිණෙන ලෙස ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ වෛද්‍ය කඳවුරු ප්‍රධානි වෛද්‍ය සජිත් මංජුල මහතා බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. 

ඒ මේ දිනවල රාත්‍රී හා අලුයම් කාලයේ පවතින අධික සීතල සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්. 
 
සීත ගඟුලෙන් දිය නෑම ඉතාමත් පරිස්සමෙන් සිදු කළ යුතු බවත්, දිය නෑමෙන් පසු දැඩි සීතලක් ඇතිවී සිහිසුන් වු රෝගීන් කීපදෙනෙකුම ප්‍රතිකාර සඳහා වෛද්‍ය මධ්‍යස්ථානවලට ඇතුලත් කොට ඇති බවද මංජුල මහතා සඳහන් කළා. 
 
ඇදුම, හතිය, අධික රුධිර පීඩනය, දියවැඩියාව, අපස්මාරය, හෘදයාබාධ ඇති පුද්ලයන් සෑම විටම තමන් ලබා ගන්නා ඖෂධ රැගෙන එන ලෙසත්, බොහෝ පිරිසක් ඒවා අමතක කොට පැමිණෙන බවත්, එවැනි පිරිස් දැඩි සීතල තත්ත්වය හමුවේ සිරිපා කරුණා කිරීමෙන් වළකින ලෙස ද ඉල්ලා සිටිනවා. 
 
සිරිපා කරුණා කිරීමේදී හදිසියේ ක්ලාන්ත තත්ත්වයක් ඇති වු විගස බිම වාඩි විය යුතු බවත්, එසේ නොමැති නම් බිම දිගා වී අන් අයගෙන් සහාය ඉල්ලා සිටින ලෙසත්, එසේ නොමැතිව එම තත්ත්වයන් ඉවසාගෙන දිගින් දිගටම ගල්පඩි නගිමින් වන්දනාවේ නොයෙදෙන ලෙසත් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා. 
 
හැටන් මාර්ගයෙන් ශ්‍රීපාදය වන්දනාවේ යෙදෙන බැතිමතුන්ට වෛද්‍යධාර හෝ ප්‍රථමාධාර සහායක් අවශ්‍ය වන්නේ නම් නල්ලතන්නිය පොලීසිය ඉදිරිපිට ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයට පැමිණ අවශ්‍ය ප්‍රතිකාර ලබා ගත හැකි බවත්, සති අන්තයේ හා ප්‍රධාන නිවාඩු දිනවලදී සෞඛ්‍යදාන ව්‍යාපාරය විසින් මෙම ස්ථානයේ නොමිලේ සෞඛ්‍ය කඳවුරු පවත්වන බව මංජුල මහතා පැවසුවා. 
 
සෑම සිරිපා වන්දනා සමයකදීම හදිසි අනතුරු නිසා හෝ රෝගාබාධ උස්සන්නවීම් හේතුවෙන් ජීවිත අහිමි වෙමින් පවතින බවත්, එම අවස්ථාවන් අඩු කළ හැක්කේ නිසි ලෙස සෞඛ්‍ය උපදෙස් පිළිපදින්නේ නම් පමණක් බවත් ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ වෛද්‍ය කඳවුරු ප්‍රධානී වෛද්‍ය සජිත් මංජුල මහතා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)