06 July 2025

logo

සහල් සැඟවූ සුපිරි වෙළඳසැලකට නඩු



කීරි සම්බා සහල් කිලෝ එක් දහස් තුන්සිය හැට පහක් සඟවාගෙන සිටි බවට වරද පිළිගත් සුපිරි වෙළෙඳ සලකට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා විසින් රුපියල් ලක්ෂයක දඩ නියම කර තිබෙනවා. 

රුපියල් තුන් ලක්ෂ පනස් හතර දහස් නමසීයක් වටිනා මෙම සහල් තොගය රාජ සන්තක කිරීමට ද නියෝග කළා. 
 
නිට්ටඹුව නගරයේ සුපිරි වෙළෙඳ ආයතනයකට එසේ දඩ නියම කෙරුණා. 
 
විත්තිකාර වෙළඳ ආයතනය වෙනුවෙන් එහි බලය පැවරූ ලිපියක් ද සමඟ අධිකරණය ඉදිරියේ පෙනී සිටින පුද්ගලයා දඩ මුදල නොගෙවන්නේ නම් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම දෙනාට මාස හය බැගින් ලිහිල් සිර දඩුවම් නියම කිරීමට ද නියෝග කළා. 
 
රාජ සන්තක කරන ලද කීරි සම්බා කිලෝ එක් දහස් තුන්සිය හැට පහක ප්‍රමාණය කිලෝව රුපියල් දෙසිය හැට පහ බැගින් විත්තිකාර වෙළඳ ආයනයටම මිල දී ගත හැකි බව ද මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළ අතර ඒ අවස්ථාවේම එම ආයතනයේ පුද්ගලයකු අධිකරණය ඉදිරියට පැමිණ එම සහල් තොගය අධිකරණයෙන් මිල දී ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළා. 
 
ගම්පහ පාරිභෝගික අධිකාරියෙහි විමර්ශන නිලධාරිනී තමරා නිල්මිණි සුරවීර මහත්මිය පැමිණිල්ල මෙහෙය වූ අතර එම සහල් තොගය පාරිභෝගිකයන් හට අලෙවි නොකර සගවා ගෙන සිටිය දී පාරිභෝගික අධිකාරියෙහි විමර්ශන අංශය උපාය දූතයෙකු යොදවා වැටලීම සිදු කොට නඩු පවරා තිබුණා.
(colombotimes.lk)