වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන ප්‍රධාන ජලාශ 21ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 19කට අධික ප්‍රමාණයක් මේ වන විට වාන් දමමින් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමණාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී හේරත් සඳහන් කළේ අද (15) පෙරවරු 6.00 වන විට මෙම තත්ත්වය වාර්තා වූ බවයි.
මෙලෙස වාන් දමන ප්‍රධාන ජලාශ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගන, නාච්චිදූව සහ යාන්ඔය ජලාශය, බදුල්ල දිස්ත්‍රික්කයේ අඹේවෙල ජලාශය, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, තිස්ස වැව, වීරවිල යෝධ වැව සහ වෙහෙරගල ජලාශ ඇතුළත්.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹකොළ වැව, උස්ගල සියඹලන්ගමුව, මැදියාය, මාගල්ල සහ දැදුරුඔය ජලාශද, මහනුවර දිස්ත්‍රික්කයේ නාලන්ද සහ වෑමැඩිල්ල ජලාශද, මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානගල සහ අලිකොටආර ජලාශ, පුත්තලම දිස්ත්‍රික්කයේ ඉගිණිමිටිය සහ තබ්බෝව ජලාශ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ යෝධ වැවද වාන් දමමින් පවතින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
