21 April 2025


පොලීසියට අලුතින් නිලධාරීන් 5,000ක්



ශ්‍රී ලංකා පොලීසියට මෙම වසරේදී නිලධාරීන් 5,000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඒ අනුව ඉන් නිලධාරීන් 2,000ක් ඉතාමත් කඩිනමින් බඳවා ගැනීමටත් ඉතිරි 3,000ක ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී බඳවා ගැනීමටත් සැළසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසියේ ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් අතර මාර්ගගතව අද (21) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා සඳහන් කළේ මීට අමතරව ධාරිතා සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇති බවත් එමඟින් පොලිස් නිලධාරීන්ගේ සේවය වඩා කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකා පොලීසිය සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)