24 February 2025


ලබන වසරේ සිට අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක්



එළඹෙන 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයට නව වැඩපිළිවෙළක් දියත් කිරීමට අවධානය යොමු වී තිබෙනවා.

ඒ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි සහ ජ්‍යෝතිෂ්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් අතර අද (24) පැවති හමුවකදීයි.  

සිය ක්ෂේත්‍රෙය් ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා එහිදී එම ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිස අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා තිබෙනවා.

එහිදී ඔවුන් වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සියල්ල මේ වන විට ජනගත වී ඇති බැවින් එහි කිසිම වෙනස්කම් සිදු නොකරන බවයි.

එළඹෙන වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත් ජ්‍යෝතිෂ්‍ය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බවද ඔවුන් අවධාරණය කර තිබෙනවා.
 
(colombotimes.lk)