09 March 2025


අදානි සුළං විදුලි ව්‍යාපෘතිය ගැන දැනුම්දීමක්



අදානි සමාගම සමඟ සිදු කිරීමට නියමිතව තිබූ සුළං බලවිදුලි ව්‍යාපෘතිය මෙතෙක් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ප්‍රකාශ කළා.
 
ඒ බලශක්ති අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින්.

අදානි සමාගමේ විදුලි ව්‍යාපෘතියේ මිල ගණන් වැඩි බැවින් ඒ පිළිබඳ සමාලෝචනය කිරීමට කැබිනට් මණ්ඩලයට යොමු කළ බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දී තිබෙනවා.

ඔහු සඳහන් කළේ එම අවස්ථාවේ ඉන්දීය අදානි මව් සමාගම එම ව්‍යාපෘතියෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ලිපියකින් දැනුම්දී ඇති බවයි.

ඒ අනුව ආයෝජන මණ්ඩලය ඒ පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කර තිබෙනවා.

අමාත්‍යවරයා කියා සිටියේ සුළං විදුලි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් රජය සාකච්ඡා කර ඇත්තේ අදානි සමාගමේ ලංකාවේ පිහිටි නියෝජිත ආයතනය සමඟ බවයි.

මේ සම්බන්ධයෙන් සලකා බලන ලෙස එම ආයතනය දැනුවත් කර තිබෙනවා.

 අමාත්‍යවරයා සඳහන් කළේ එම ලිපියට සති දෙකක් ඇතුළත පිළිතුරු අපේක්ෂා කරන බවයි.

සති දෙකක් ඇතුළත සෘණාත්මක පිළිතුරක් ලැබුණහොත් පමණක් විකල්පයකට යොමුවීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සඳහන් කළා.

(colombotimes.lk)