07 July 2025

logo

KDU සිසුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ගැන තීරණයක්



ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හැදෑරීම සඳහා දේශීය සිසුන් ඇතුළත් කර නොගැනීමට ගෙන තිබෙන තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සමථයට පත් කළ හැකි බව දෙපාර්ශවයේ නීතිඥවරු අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ මෙම පෙත්සම අද (07) අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

මෙම නඩුකරය සමථයට පත් කිරීමට හැකියාව තිබෙන බව පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ හෆීල් ෆාරිස් අධිකරණය හමුවේ කියා සිටියා. 

නීතිඥවරයා සඳහන් කළේ අදාළ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා දේශීය සිසුන්ට ද ඇතුළත් වීමට අවසර ලබා දෙමින් වගඋත්තරකරුවන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි.
 
ඒ අනුව මෙම පෙත්සම සමථයට පත් කිරීම සඳහා පෙත්සම්කරුවන්ගේ ලිඛිත උපදෙස් ලබාගෙන ඉදිරිපත් කිරීම සඳහා ලබන 24වනදා කැඳවන ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා.


(colombotimes.lk)