ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට



විදෙස් රැකියා සඳහා අවශ්‍ය පාඨමාලා ලබාදෙන බවට වංචනික අධ්‍යාපන ආයතනයක් බම්බලපිටියේ පවත්වාගෙන ගිය 24 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පසුගිය නොවැම්බර් 27 වැනිදා බම්බලපිටිය ලෝරිස් පාරේ පිහිටි ‘Evolve College of Education’ ආයතනයේ සිදුකළ වැටලීමකදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ. 
 
ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි සැකකරු විදේශ රැකියා සඳහා අවශ්‍ය ව්‍යාජ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා ලබාදී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. 
 
මෙම කාන්තාව රට පුරා විවිධ ප්‍රදේශවලින් සිසුන් ගෙන්වාගෙන, මාර්ගගත පන්ති පවත්වා, පාඨමාලාව අවසන් වීමෙන් පසු ව්‍යාජ ඩිප්ලෝමා ලබා දී තිබුණා. 
 
නිසි දේශීය හෝ ජාත්‍යන්තර ප‍්‍රමිතීන් අනුගමනය නොකර ආයතනය පවත්වාගෙන ගියද සැකකරු විසින් උපාධි සඳහා රුපියල් 100,000 සිට රුපියල් 445,000 දක්වා මුදල් ලබාගෙන තිබෙන බව ද සඳහන්. 
 
සැකකරුට සහ එම ආයතනයට එරෙහිව පැමිණිලි 43ක් ලැබී ඇති අතර 1000කට අධික පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බවද පොලිසිය පවසනවා. 
 
එම අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කළ මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
(colombotimes.lk)