07 November 2025

logo

මහා මාර්ග සංවර්ධනයට වෙන් කළ මුදල මෙන්න



මහාමාර්ග සංවර්ධනයට රුපියල් මිලියන 342,000ක් වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ 2026 වසා සඳහා වූ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 66,150ක මුදලක් වෙන් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

එමෙන්ම ජනාධිපතිවරයා සඳහන් කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර ලෙස පොතුහැර - රඹුක්කන - ගලගෙදර කොටසේ වැඩ කටයුතු 2027 වසරේ පළමු කාර්තුව වන විට අවසන් කිරීමට අපේක්ෂිත බවයි.

ඒ සඳහා රුපියල් බිලියන 1.5ක් වෙන් කර තිබෙන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

රඹුක්කන - ගලගෙදර කොටස සඳහා දේශීය අරමුදල් යොදා ගනිමින් අමතර රුපියල් බිලියන 20ක මුදලක් වෙන් කර තිබෙන බවද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය කතාවේ සඳහන්.

කුරුණෑගල - දඹුල්ල අධිවේගී මාර්ග සඳහා ඉඩම් අත්පත් කර ගැනීම අවසන් කිරීමට රුපියල් බිලියනක් වෙන් කර තිබෙනවා.

ජනාධිපතිවරයා කියා සිටියේ රුවන්පුර අධිවේගී මාර්ගය - කහතුඩුව - ඉංගිරිය කොටස සඳහා ශක්‍යතා තක්සේරුව නැවත ආරම්භ කර තිබෙන අතර ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රුපියල් බිලියන 1.5ක මුදලක් වෙන් කර තිබෙන බවයි.

වරාය නගරය සහ මැරීන් ඩ්‍රයිව් මාර්ගය සම්බන්ධ කිරීම සඳහා රුපියල් මිලියන 330ක් වෙන් කර තිබෙනවා.


(colombotimes.lk)