23 September 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. නලීන් ප්‍රදීප් උඩුවෙල දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩුවෙල අද (23) උදෑසන සිය දිවි ගමනට සමුදී තිබෙනවා. 

ඒ මහරගම අපේක්ෂා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. 

මියයන විට ඔහු 56 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. 

 


02. හර්ෂ ඉලුක්පිටියට වසර දෙකක සිරදඬුවම්

අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටි ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටියට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර දෙකක සිරදඬුවම් නියම කර තිබෙනවා. 

ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මෙම ක්‍රියාව තුළින් වග උත්තරකාර හර්ෂ ඉලුක්පිටිය අධිකරණයට බරපතළ අපහාසයක් සිදුකර තිබෙන බවත් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කර තිබෙනවා. 



03. මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපතිට අධිකරණයෙන් දුන් නියෝගය

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (23) නියෝග කර තිබෙනවා. 

මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ සැකකරුට ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප 03ක් සහ 50000ක මුදල් ඇපයක් මත මුදා හැරීමටයි. 

එමෙන්ම සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණය නියම කර තිබෙනවා. 



04. තංගල්ල නිවසේදී මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට


තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සහිත ලොරි 03ක් හමුවූ නිවසේ සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා අද (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ තංගල්ල ප්‍රදේශයේදී ලොරි රථ 03ක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888ක් පමණ වන බවයි. 

ලොරි රථ 03හි තිබී අයිස් සහ හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍යවල කිලෝග්‍රෑම් 705.91ක තොගයක් සොයාගත් බව පොලීසිය සඳහන් කළා. 

ඒ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 284.94ක් සහ අයිස් කිලෝග්‍රෑම් 420.976ක තොගයක් වන බවයි වාර්තා වන්නේ. 

එහිදී එක් ලොරි රථයක් තුළ තිබී මත්ද්‍රව්‍යවලට අමතරව ටී - 56 ගිනි අවියක් සහ ඇසුරුම් ඉවත් නොකළ නව පිස්තෝල වර්ගයේ ගිනි අවි 5ක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. 

පොලීසිය විසින් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමති අපරාධකරුට අයත් බවයි.



05. X-Press Feeders නෞකා සමාගමෙන් දැඩි තීරණයක් 



2021දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියෙන් ඇතිවූ ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ ඇමරිකානු ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

පසුගිය ජූලි මස 24වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට මෙම ගෙවීම කරන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

මෙම ඛේදවාචකය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් එවක විෂයභාර අමාත්‍ය නාලක ගොඩහේවා, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. 

අදාළ ඛේදවාචකය තුළින් සිදුවූ හානිය වෙනුවෙන් කාදිනල් අතිඋතුම් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු පාර්ශව කිහිපයක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව ලබාදෙමින් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ. 



06. විදුලිබල මණ්ඩල සේවකයන්ගේ නිවාඩු අවලංගු කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු විදුලිබල මණ්ඩලයේ සියලු සේවකයන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. 

එහි සාමාන්‍යාධිකාරීවරයා විසින් ලිඛිතව ඒ බව දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් පසුගිය 21වනදා නිකුත් කළා. 



(colombotimes.lk)