01. ලක්මවට ලෝකඩ පදක්කමක්
ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ ඊයේ (02) පැවති පිරිමි දුර පැනීම (T44 /දණහිසින් පහළ එක් පාදයක් අහිමි හෝ අප්‍රාණික) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නුවන් ඉන්දික සමත් වී තිබෙනවා.
ඔහු අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නුවන් අවසන්වරට 2024 වසරේ ජපානයේ පැවති පැරා ලෝක ශූරතාවලියේ ද ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා.
ඔහු 2022 වසරේ චීනයේ පැවති ආසියානු පැරා ශූරතාවලියේ මීටර 100 ඉසව්වෙන් රන් පදක්කමත්, දුර පැනීම ඉසව්වෙන් රිදී පදක්කමත් දිනාගැනීමට සමත්වී තිබෙන බවයි වාර්තා වන්නේ.
02. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක්
ව්‍යාජ තොරතුරු මත පදනම්ව වාහන ලියාපදිංචි කිරිමේ සිද්ධි සම්බන්ධයෙන් මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයේ මෙහෙයවීමෙන්.
ව්‍යාජ තොරතුරු යොදා ගෙන ලියාපදිංචි කළ වාහන 8ක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පසුගියදා හමුවූ බව පොලීසිය සඳහන් කළා.
ඒ සම්බන්ධ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එම වාහන රේගුවට වසන් කර මෙරටට ආනයනය කර පසුව පැරණි වාහනවල චැසි අංකවලට ලියාපදිංචි කර ඇති බවයි.
එම ජාවාරමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකගේ සහය ලැබී ඇති බවට මූලික විමර්ශනවලදී තහවුරු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඇතැම් මොටර් රථ ලියාපදිංචිය සඳහා දත්ත පරිගණකවලට ඇතුළත් කර ඇත්තේ කාර්යාලයීය වේලාවලින් පසුව බවද විමර්ශනවලදී හෙළිවූ බවයි.
ඒ අනුව අධිකරණ නියෝග මත මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් කිහිපදෙනෙක්ගෙන් මේ වන විටත් ප්‍රකාශ ලබාගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
03. ලෝක සිවිල් ගුවන් සේවා සංවිධානයේ සහය මෙරටට
මෙරට ගුවන්තොටුපළ සංවර්ධනය සඳහා සහය ලබාදීමට ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානය එකතාව පළ කර තිබෙනවා.
ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ ත්‍රෛවාර්ෂික සමුළුවට සමගාමීව එහි මහ ලේකම්වරයා සමඟ මෙරට නියෝජිතයන් කළ සාකච්ඡාවේදී එම එකඟතාවයට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සමුළුව මේ දිනවල රටවල් 183ක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.
එයට මෙරට නියෝජනය කරමින් වරාය ගුවන් සේවා ප්‍රවාහන හා මාහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු ඇතුළු පිරිසක් සභභාගී වී තිබෙන බවයි වාර්තා වන්නේ.
04. කෙහෙල්බද්දර පද්මෙගේ තොරතුරෙන් තවත් ගිනිඅවියක් එළියට
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මන්දිනු පද්මසිරි පෙරේරා නොහොත් කෙහෙල්බද්දර පත්මෙ නැමැත්තාගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව මයික්‍රෝ වර්ගයේ ගිනිඅවියක් හා මැගසිනයක් සොයාගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින්.
කෙහෙල්බද්දර පද්මේ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ 3හි රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී විවිධ අපරාධ සඳහා යොදාගත් ගිනිඅවියක් ඌරගස්මංහන්දිය, කොස්ගොඩ මාර්ගයේ ඇති අතුරු මාර්ගයක බෝක්කුවක් යට සඟවා තිබෙන බවට තොරතුරු අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළා.
05. මනූෂගේ ඇප ඉල්ලීමට අධිකරණයෙන් දුන් නියෝගය
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප පෙත්සම විමසීමට ලබන 08වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
මෙම ඇප ඉල්ලීම අද (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම ඉදිරියේ කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් අනුෂා සම්මන්දප්පෙරුම විසින් මෙම පෙත්සමට අදාළ ලිඛිත විරෝධතා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී මනූෂ නානායක්කාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අධිකරණය ඉල්ලා සිටියේ මෙම විරෝධතාවලට පිළිතුරු ගොනු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව එම ලිඛිත පිළිතුරු ලබන අඟහරුවාදා ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා ජනාධිපති නීතිඥවරයාට නියම කර තිබෙනවා.
06. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදවත් සලිත කරවන හෙළිදරව්වක්
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයන් 42,000කට අධික පිරිසක් බරපතළ ශෛල්‍යකර්මවලට ලක් කර සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම සංවිධානය සඳහන් කළේ ඔවුන්ගෙන් හතරෙන් එකක් පමණ කුඩා ළමුන් බවයි.
එමෙන්ම ශෛල්‍යකර්ම හේතුවෙන් පුද්ගලයන් 5,000කට අධික පිරිසකගේ අත් පා කපා ඉවත් කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොඳු ඇට පෙළේ තුවාල, පිපිරීම් හේතුවෙන් මොළයේ සිදු වූ තුවාල සහ අනෙකුත් පිළිස්සුම් තුවාල හේතුවෙන් අදාළ ශෛල්‍යකර්ම සිදුකර ඇති බවයි.
(colombotimes.lk)