01. නීතිඥ ගුණරත්න වන්නිනායකගේ පෙත්සම කැඳවීමට දිනදෙයි
තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ ගුණරත්න වන්නිනායක විසින් ඉදිරිපත් කළ පෙත්සම නොවැම්බර් මස 10වනදා යළි කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.
ඒ මෙම පෙත්සම අද (16) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
02. වෙළඳපොළේ රන් මිල අහස උසට
ලෝක වෙළඳපොළේ රත්‍රං මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එමනිසා ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ගණන් ද විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙරට රත්‍රං මිල පසුගිය බ්‍රහස්පතින්දා දිනට සාපේක්ෂව රුපියල් 60,000කින් අද (16) දිනය වන විට ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්තවල සඳහන් වනවා.
ඒ අනුව අද (16) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොළෙහි 'කැරට් 22' රන් පවුමක් රුපියල් 10,000කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල සටහන් වුණේ රුපියල් 360,800ක් ලෙසයි.
පසුගිය බ්‍රහස්පතින්දා කැරට් 22 රන් පවුමක මිල රුපියල් 305,300ක් ලෙස සටහන් වුණා.
කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී රුපියල් 330,000ක් ලෙස පැවති 'කැරට් 24' රන් පවුමක මිල අද වන විට රුපියල් 390,000ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි.
03. ඉෂාරා ඇතුළු පිරිසට පැය 72ක රැඳවුම් නියෝග
ඉෂාරා සෙව්වන්දි සහ අනෙකුත් සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 04දෙනෙක් විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බවයි.
එමෙන්ම අනිත් සැකකරුවන් දෙදෙනා පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට යොමු කර තිබෙනවා.
04. රුසියානු තෙල් ගැන මෝදි දුන් සහතිකය ට්‍රම්ප් හෙළි කරයි
ඉන්දියාව තවදුරටත් රුසියානු තෙල් මිලදී නොගන්නා බවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමාට සහතික වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.
ඒ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී මාධ්‍යවේදීන් අමතමින්.
රුසියාවේ බලශක්ති ආදායම කපා හැරීම සඳහා වොෂින්ටනය ගෙන යන ප්‍රයත්නයන් තීව්‍ර කරමින්, ඉන්දියාව රුසියානු තෙල් මිලදී ගැනීම ගැන තමා සතුටු නොවූ බවත්, එය නවත්වන බවට මෝදි සහතික වූ බව ඔහු එහිදී කියා සිටියා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කෙසේ වෙතත් ඉන්දියාව තවමත් එම ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
05. ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් අභාවප්‍රාප්ත වෙයි
ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර අභාවප්‍රාප්ත වී තිබෙනවා.
1986 වසරේදී පාකිස්ථානයට එරෙහිව ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකරගත් ඔහු වසර 8කට අධික කාලයක් ශ්‍රී ලංකා එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නියෝජනය කළා.
ජයනන්ද වර්ණවීර 1994 වසරේදී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් සහ එක්දින කඩුලු 6ක් බිඳහෙළා තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට ඔහු 64වන වියේ පසුවුණා.
05. රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ ලැබූ ඉහළම අදායම වාර්තා කරයි
ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එක් දිනක් තුළ එකතු කළ ඉහළම අදායම ඊයේ (15) වාර්තා කර තිබෙනවා.
ඒ රුපියල් මිලියන 2,470ක බදු මුදලක් රැස් කරමින් බවයි වාර්තා වන්නේ.
මේ වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 1,867ක අදායමක් රැස් කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්වී තිබෙනවා.
රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ 2025 වසර සඳහා රේගුවට රුපියල් බිලියන 2,115ක අදායම් ඉලක්කයක් ලබාදී ඇති අතර එම මුදල පහසුවෙන් ඉක්මවීමට හැකි වනු ඇති බවයි.
(colombotimes.lk)