05 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. බැකෝ සමන්ගේ ජාවාරම් මෙරට සිට මෙහෙයවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

බැකෝ සමන්ගේ ජාවාරම් සහ අපරාධ මෙරට සිට මෙහෙයවූ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු බැකෝ සමන්ගේ නැගණියගේ සැමියා බවයි වාර්තා වන්නේ. 

පෑලියගොඩ, බියගම පාර ප්‍රදේශයේ රැඳී සිටියදී බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා. 



02. ජනාධිපති වැය ශීර්ෂයෙන් වෙන් කළ මුදල ගැන ඇමති අනිල් කරුණු පහදයි


2026 වසර සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශීර්ෂය වෙනුවෙන් වෙන් කළ මුදල 2025 වසර සාපේක්ෂව තුන් ගුණයක වැඩිවීමක් බවට ප්‍රචාරය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා.

ඔහු සඳහන් කළේ අදාළ සංසන්දනය සඳහා යොදාගත් ගණනය කිරීමේ පදනම නිවැරදි නොවන බවයි.

2026 වසර සඳහා වන රජයේ ඇස්තමේන්තුගත වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2026 වර්ෂය සඳහා වියදම ලෙස ඇස්තමේන්තු ගත කර ඇති සමස්ත වියදම දැක්වෙන්නේ රුපියල් බිලියන 4545ක් ලෙසයි. 

2026 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව ජනාධිපති වැය ශිර්ෂය සඳහා පුනරාවර්තන වියදම් ලෙස රුපියල් මිලියන 2,665ක් ද මූලධන වියදම් ලෙස රුපියල් මිලියන 8,712ක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු කියා සිටියේ රුපියල් මිලියන 11,377ක් ජනාධිපති වැය ශිර්ෂය සඳහා වෙන් කර ඇති බවයි. 




03. මහින්දගේ වෙඩි නොවදින රථය ගැන දැනුම්දීමක්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබෙනවා. 

මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ සඳහන් කළේ ඊයේ (03) අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවයි. 

ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති ලේකම්වරයා පසුගියදා සැප්තැම්බර් 24වනදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල වාහන සියල්ල හා නිල නිවස යළි භාරදෙන ලෙස දැන් වූ බව මනෝජ් ගමගේ වැඩිදුරටත් සඳහන් කළා. 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඊට අමතරව මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක නිලධාරී ගමන්ගත් රථය ද භාරදීමට කටයුතු කළ බවයි. 

මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂගේ ජීවිතය අවදානමකට ලක්ව ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියා. 




04. ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයේ කොටසක් හමාස් පිළිගනියි


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා ඇමරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ඊශ්‍රායලයට නියෝග කර ඇති බවයි. 

සාමය සඳහා වූ 'ට්‍රම්ප්ගේ සැලැස්ම' වෙනුවෙන් තම රට එක්සත් ජනපදය සමඟ කටයුතු කරන බව ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.




05. අර්බුදයෙන් පසු ආර්ථික වර්ධනයේ කැපී පෙනෙන වෙනසක්


ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වන විට 5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් ප්‍රකාශ කළා. 

ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි. 

ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියා. 



06. ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණය හෙළි කරයි


ශ්‍රී ලංකාව විදේශීය හා දේශීයව ඇමරිකානු ඩොලර් බිලියන 37ක ණය ප්‍රමාණයක් ලබාගෙන ඇති බවට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ සභාපතීත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මෙය අනාවරණය වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් කාරක සභාව කළ විමසීමකදී එම අවස්ථාවට කැඳවා සිටි රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල නිලධාරීන් සඳහන් කළේ විදේශ ණය ඇමරිකානු ඩොලර් බිලියන 37ක් ලබාගෙන ඇති අතර එය රුපියල් ට්‍රිලියන 19.6ක් බවයි. 

ණය ලබාගැනීම් සම්බන්ධ ක්‍රියාවලිය වර්තමානය වන විට සම්පූර්ණයෙන්ම රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාල හරහා සිදු වනවා. 



(colombotimes.lk)