27 October 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. වැලිගම සභාපති ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා හමුවට

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (26) පස්වරුවේ නාවින්නේදී අත්අඩංගුවට ගත් වෙඩික්කරු අද (27) පස්වරුවේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
 
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයේ රඳවාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටතට රැගෙන ආ සැකකරු මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කර තිබෙනවා. 

 

02. ගෙවුණු සති 03 තුළ සංචාරකයන්ගේ පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

පසුගිය සති 03 තුළ පමණක් සංචාරකයන් 120,000කට ආසන්න පිරිසක් මෙරටට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ ඔක්තෝබර් මස 23වන දින වන විට සංචාරකයන් 119,670දෙනෙක් මෙරටට පැමිණ ඇති බවයි. 

ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 1,845,164දෙදෙනෙක් මෙරටට පැමිණ තිබෙනවා. 

සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යවසායකයන්ගේ එකමුතුව සඳහන් කළේ මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ ඉහළ යාමක් දක්නට ලැබුණ ද සංචාරකයන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට බලධාරීන් කටයුතු කර නොමැති බවයි.  

සංචාරක කර්මාන්තයේ පහසුකම් වැඩිදියුණු කිරීම සදහා ක්‍රමවත් වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කළ යුතු බව එහි සභාපති සමීර සේනක ද සිල්වා සඳහන් කළා. 



03. දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ දක්ෂතම පිරිමි ක්‍රීඩකයා නම් කරයි 

ඉන්දියාවේ රාංචි හී පැවති 4වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග දක්ෂතම පිරිමි ක්‍රීඩකයා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා. 

පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වේ රන් පදක්කමට හිමිකම් කීමට රුමේෂ් තරංග ඊයේ (26) සමත් වුණා. 

ඒ මීටර් 84.29ක දුරක් හෙල්ල විසි කර දක්ෂතාවය දක්වමින්. 



04. මොස්කව් නගරයේ ගුවන්තොටුපළවල් දෙකක් වැසෙයි

රුසියාවේ මොස්කව් නගරය අවට ඇති ගුවන්තොටුපොළ හතරෙන් දෙකක් වසා දැමීමට කටයුතු කළ බව රුසියාව පවසනවා. 

රුසියානු බලධාරීන් සඳහන් කළේ යුක්‍රේනය විසින් ඊයේ (26) රාත්‍රියේ සිට මොස්කව් නගරය ඉලක්ක කර ගනිමින් දිගින් දිගටම එල්ල කරන ඩ්‍රෝන ප්‍රහාරයන් හේතුවෙන් මෙසේ ගුවන්තොටුපොළ වසා දැමීමට කටයුතු කළ බවයි.
 
පැය පහක පමණ කාලය තුළ යුක්‍රේන ඩ්‍රෝන යානා 28ක් රුසියානු ආරක්ෂක අංශ විසින් විනාශ කර තිබෙනවා. 




05. දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාවය ලංකාවට

ඉන්දියාවේදී නිමාවට පත් වූ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ අනුශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා.

ශ්‍රී ලංකාව මෙහිදී රන් 16ක්, රිදී 14ක් හා ලෝකඩ 10ක් සමඟින් පදක්කම් 40ක් දිනාගැනීමට සමත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

රන් පදක්කම් 20ක් දිනූ ඉන්දියාවට පදක්කම් සටහනේ පෙරමුණ හිමි වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් රිදී පදක්කම් 20ක් හා ලෝකඩ පදක්කම් 18ක්ද දිනාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව හැර වෙනත් කිසිදු රටකට රන් පදක්කමක් දිනාගැනීමට නොහැකිවීමද විශේෂත්වයක්.

මෙම තරගාවලිය ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට ආසන්න පිරිසක් සහභාගී වී තිබෙනවා.

මෙහිදී සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට අමතරව භූතානය, නේපාලය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරගවැද තිබෙනවා. 



06. පාසල් ගුරු සංවර්ධන නිලධාරීන් වර්ජනයකට සැරසෙයි

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද (27) සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹීමට පාසල් ගුරු සංවර්ධන නිළධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
 
එහි ලේකම් විරාජ් මනරංග සඳහන් කළේ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා ගුරු සංවර්ධන නිළධාරීන් සහභාගී කර නොගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට හේතු වූ බවයි. 






(colombotimes.lk)