01. GovPay ඩිජිටල් ගෙවීම් රුපියල් බිලියනයේ සීමාව පසුකරයි
මෙරට රාජ්‍ය සේවාවන් සඳහා හඳුන්වා දුන් ඩිජිටල් ගෙවීම් පද්ධතිය වන 'GovPay' හරහා රුපියල් බිලියනයකට අධික ගෙවීම් ප්‍රමාණයක් සිදුකර තිබෙනවා.
ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සඳහන් කළේ මේ වන විට රාජ්‍ය ආයතන 200ක් මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය හා එක්ව ඇති බවයි.
රාජ්‍ය සේවාවන්වල ආරක්ෂිත සහ මාර්ගගත ගෙවීම් කටයුතු සඳහා 'GovPay'ඩිජිටල් ගෙවීම් පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය සහ ලංකා පේ එක්ව හඳුන්වාදී තිබෙනවා.
බදු, දඩ ඇතුළු විවිධ රජයට අදාළ ගනුදෙනු වේගවත් පහසු සහ මුදල් රහිතව සිදු කිරීමේ අරමුණින් මෙම නව ගෙවීම් පද්ධතිය හඳුන්වා දුන් අතර ඊයේ (03) දිනය වන විට මෙමඟින් ගනුදෙනු 40,920ක් සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වැඩසටහනේ මීළඟ අදියර ලෙස රාජ්‍ය ආයතන දහසක් එක්කර ගැනීම සහ රුපියල් ට්‍රිලියනයක ගෙවීම් සීමා පසු කිරීම අරමුණ වී ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
02. මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති අත්හිටුවීමට අනුමැතිය
මන්නාරම් දූපතේ නව සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට අමාත්‍ය මණ්ඩලයේ එකඟතාව ලබාදී තිබෙනවා.
ප්‍රදේශයේ මහජනතාව ඉදිරිපත් කර ඇති පාරිසරික හා සාමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මන්නාරම් දූපතේ ජනතාවගේ කැමැත්තෙන් තොරව තවදුරටත් එම දූපතේ සුළං විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක නොකරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ බලධාරීන්ට දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.
ජනාධිපතිවරයාගේ එම දැනුම්දීම බලශක්ති අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබෙනවා.
ඉන්පසු ඵ් අනුව කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
03. කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්
ඉතිහාසයේ පළමු වතාවට කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (04) ඒකක 23,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
දෛනික ගනුදෙනු සැසියක් අතරතුරදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,000 සීමාවට පැමිණි පළමු අවස්ථාව මෙය වන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අද (04) පෙරවරු 09.38 වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,001.27ක් ලෙස සටහන් වී තිබෙනවා.
04. චරිත රත්වත්තේට අධිකරණයෙන් දුන් නියෝගය
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වන චරිත රත්වත්තේ ඇප මත මුදා හරින ලෙසට නියෝග කර තිබෙනවා.
ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මෙම නියෝගය ලබාදී තිබෙනවා.
ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීරය ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 23වනදා කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
05. වයඹ පළාතේ ජනතාවට විශේෂ නිවේදනයක්
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක්දින සේවා රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව වයඹ පළාත් ජනතාවට එක්දින සේවය මඟින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම හා ඒ සම්බන්ධ අනෙකුත් සේවාවන් වඩාත් පහසුවෙන් සිදු කර ගැනීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලය කුරුණෑගල නව වෙළඳ සංකීර්ණයේ 03වන මහලේ පිහිටා තිබෙනවා.
ජනතාවට 0372 224 337 යන දුරකථන අංකය හරහා එම කාර්යාලය සමඟ සම්බන්ධ වීමේ හැකියාව පවතින බවයි වාර්තා වන්නේ.
06. රේගුවෙන් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසියට නව ඩිජිටල් ක්‍රමවේදයක්
රේගුව මඟින් රාජසන්තක කරන භාණ්ඩ වෙන්දේසි කිරීම සඳහා නව ඩිජිටල් ක්‍රමවේදයක් (E-Tendering system) හඳුන්වාදීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා.
රේගු නිලධාරීන් සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායකගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම පියවර ගත් බවයි.
එම අවස්ථාවට කාරක සභාවේ සාමාජිකයන් මෙන්ම ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්‍ගොඩ ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වී තිබෙනවා.
(colombotimes.lk)