08 November 2025

logo

අද දවස උණුසුම් කළ පුවත් සියල්ල මෙන්න | The 7PM Report



01. සම්පත් මනම්පේරිට අයත් වාහන 03ක් අත්අඩංගුවට

රැඳවුම් නියෝග මත සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ ඔහුගේ මිද්දෙනියේ පිහිටි නිවසේ තිබියදීයි.



02. ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වෙයි

DNA ව්‍යුහය සොයාගැනීමේ පුරෝගාමියෙක් වූ ඇමරිකානු විද්‍යාඥ නොබෙල් ත්‍යාගලාභී ජේම්ස් වොට්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

ඔහු මිය යන විට 97වන වියේ පසුවුණා.  

20වන සියවසේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් ලෙසින් පිළිගැනෙන DNAහී ද්විත්ව හෙලික්සීය ඔහු බ්‍රිතාන්‍ය විද්‍යාඥ ෆ්‍රැන්සිස් ක්‍රික් සමඟ එක්ව 1953 වසරේදී සොයාගෙන තිබෙනවා.
 
ඔවුන් දෙදෙනාගේ මෙම සොයාගැනීම අණුක ජීව විද්‍යාවේ වේගවත් දියුණුවට ප්‍රධාන වේදිකාවක් වුණා. 

ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනා 1962 වසරේදී නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.



03. මහින්දානන්දගේ සහ නලින්ගේ ඇප ඉල්ලීම් ඉවතට



වසර 25ක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනයට යටත්ව තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර තිබූ ඇප අයදුම් පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (07) ප්‍රතික්ෂේප කර තිබෙනවා. 

මෙම නියෝගය ප්‍රියනාත් ලියනගේ, විරාජ් වීරසූරිය, පී.එම්.ටී බණ්ඩාර යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.



04. බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්



ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා තුර්කි රජය වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

ගාසාහී ජන සංහාරයක් සිදු කළ බවට චෝදනා කරමින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම ඔහුට අමතරව යුද්ධයට සම්බන්ධ තවත් ඉහළ නිලධාරීන් 37දෙනෙක්ට එරෙහිව ද මෙලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා. 

ඒ අතරට ඊශ්‍රායල් ආරක්ෂක ඇමති කැට්ස්, ජාතික ආරක්ෂක අමාත්‍ය බෙන් ග්වියර් ද ඇතුළත්. 




05. ත්‍රීරෝද රථයක් පෙරළෙයි - 5ක් රෝහලට


තලවකැලේ සිට නුවරඑළිය උඩුපුස්සැල්ලාව දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රධාන මර්ගය හරහා පෙරළීයාමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. 

ඒ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය හුළංවංගුව ප්‍රදේශයේදීයි.

එලෙස සිදු වූ අනතුරෙන් කුඩා ළමුන් ඇතුළු 5දෙනෙක් රෝහල්ගත කර තිබෙනවා. 

එම අනතුර සිදු වන අවස්ථාවේ ත්‍රීරෝද රථය තුළ එකම පවුලේ 05දෙනෙක් ගමන් කර තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)